විශ්ව දහම සරළව වටහා ගනිමු.

විශ්ව දහම සහ එය මිනිසාට වෙත ක්‍රියාත්මක වන ආකාරය සරළව වටහා ගනිමු. 

ලිපියෙහි සාරාංශය: ඉස්ලාම් දහම උපයෝගී කරගෙන විශ්ව දහම පහදා දී ඇත. ඉස්ලාම් දහම වටහා ගැනීමට පහසු දහමකි. එය මිනිසාට පමණක් නොව මුළු විශ්වයටම එකම විදිහට බලපාන පොදු දහමකි. එය මිනිසෙකු විසින් නිර්මාණය කළ දහමක්ද නොව. එය සියල්ල දන්නෙකු සහ සියල්ලෙහි මැවුම්කරු වන සර්වබලධාරී දෙවියන්වහන්සේ විසින් ඇති කළ දහමකි. 

මිනිසාගේ නිර්මාතෘ මිනිසාට අදාල මාර්ගෝපදේශ නබිවරුන් හරහා මිනිසා වෙත දැනුම් දී තිබේ. මෙම දහම මිනිසාට ප්‍රායෝගික ජීවන සැලැස්මකි. මිනිසා දැනගත යුතු බොහෝ කරුණු දහම තුළින් ඉදිරිපත් කරයි. ඒවා සියල්ල මිනිසාගේ මැවුම්කරුගේ උපදෙස්ය. දෙවියන් විසින් විශ්වය නිර්මාණය කළ ආකාරයත්, මිනිසාව නිර්මාණය කල ආකාරයත්, මිනිසාගේ ආරම්භය, වර්ථමානය සහ මරණින් පසු ජීවිතය, මිනිසාගේ බුද්ධියට ග්‍රහණය නොවන කරුණු, මිනිසාගේ පියවි ඇසට හෝ උපකරණ වලට නොපෙනෙන කරුණු, දෙවියන්වහන්සේ ගැන ආදිය පහදා දී ඇත. 

ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය යන්නයි. එනම් දෙවියන්වහන්සේ තම නිර්මාණවලට සාමයෙන් පැවතීම සඳහා නිකුත් කළ දිව්‍ය ආඤාවට භාවිතා කරන අරාබි භාශාවේ වචනය ඉස්ලාම් යන්නයි. දෙවියන්ගේ සියළුම නිර්මාණ (හෙවත් සොබාදහම) එම දිව්‍ය ආඤාවට අවනතව යටහත්ව සහ කීකරුව පවතී. එවැනි දැයට අරාබි භාශාවෙන් මුස්ලිම් යන වචනය භාවිතා කරයි. එයට අනුව දෙවියන් තම සෑම නිර්මාණයකටම නිකුත් කළ දහම ඉස්ලාම් වන අතර දෙවියන්ගේ සෑම නිර්මාණයක්ම එය අනුගමනය කරන හෙයින් ඒවා සියල්ල මුස්ලිම් ලෙස හැඳින්විය හැක. උදාහරණ ලෙස සූර්‍යයා, පෘතුවිය, පස, ජලය, සෑම මූලද්‍රව්‍යයක්ම, සෑම ජීවී ශරීරයක්ම, සෑම සතෙක්ම සහ සෑම ශාකයක්ම තම දහම ලෙස දෙවියන් විසින් ඒවාට ගැලපෙන අයුරින් ඉදිරිපත් කර ඇති සොභාදහමේ දහම වන ඉස්ලාමය පිළිපදී. එම නිසා ඒවා සියල්ල මුස්ලිම් ලෙස හැඳින්විය හැක. එම සාමයට යොමු වීමට කැමැත්ත ඇති පුද්ගලයාටද මුස්ලිම් යන නම භාවිතා කරයි. තම මනසින් දෙවියන්ව සහ ඔහුගේ ආඤාව ප්‍රතික්ෂේප කරන්නන් මුස්ලිම් නොවන මිනිසුන් ලෙස හඳුන්වයි. එහෙත් ඔවුන්ගේත් ශරීර ක්‍රියා කරන්නේ දේව ආඤාවට අනුව නිසා ඔවුන්ගේත් ශරීර මුස්ලිම්ය. 

දෙවියන් වෙතින් පැමිණි මිනිසා නැවත දෙවියන් වෙතම යා යුතුව ඇත. දෙවියන්ගේ උපදෙස් මත මෙලොවදී යහපත් ලෙස ජීවත් වීම තම ඉරණම ජයග්‍රහණය කර ගැනීමට ඇති එකම මාර්ගය බව මෙම දහම තුලින් පෙන්වා දෙයි. තම ජීවිත කාලය තුල දෙවියන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් මනා අධ්‍යනයක යෙදීම තුලින් මිනිසාට දෙවියන් ගැනත් ඔහුගේ නිර්මාණ ගැනත් ඉතා හොඳ වැටහීමක් ලබා ගත හැක. එම වැටහීම හරහා මිනිසාට මෙලොව ජීවිතයේ අරමුණත් ඉතා මැනවින් වටහා ගත හැකිවනු ඇත. දෙවියන් ගැන වටහා නොගත් කිසිවෙකුට සොබාදහම හෝ විශ්වය හෝ විශ්ව දහම යන්න වටහා ගැනීම අපහසුය. බුදුදහම වැනි දහම් සංකීර්ණ ලෙස දකින්නට තිබෙන්නේ එනිසයි. ඔවුන්ට මිනිසාගේ හෝ විශ්වයන්හී මුල මැද අග පිළිබඳව පැහැදිළිතාවයක් නැත.

අපගේ 'අත' දෙස බලන්න;

නැවීම, දිගහැරීම, කැරකීම ආදී ලෙස එය හසුරුවා ගැනීම අපට කොතරම් පහසුද. සාමාන්‍යයෙන් පෘථිවියේ ජීවත් වන කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක කෙනෙකුට වුවත් එය එක සමානය.

අත ගැන පමණක් නොව, අපගේ දෛනික වැඩ කටයුතු සියල්ල අපහසුවකින් තොරව තේරුම් ගෙන කර ගත හැක.

මෙවැනි පොදු තත්වයක් ලොව තුල පවතිනවා නම්, මෙම පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැතුව තමන්ට අදාල ආගම දහම තේරුම් ගැනීමටත්, එය ක්‍රියාවට නැංවීමටත්, එය තව කෙනෙකුට කියා දීමටත් අපහසු නොවිය යුතුයි. එයටද පොදු තත්වයක් තිබිය යුතුයි.

තමන් අදහන ආගම හෝ දහම ගැන දැනගන්න මහා පුස්තකාලයක් තුල ජිවිත කාලයක් ගත කරන්න වෙනවා නම්, එය එතරම්ම සංකීර්ණයි නම්, ගමේ සිටින අඩු අධ්‍යාපනික දැනුමක් ඇති අයට තමන්ගේ ආගම ගැන සොයා බැලීමේ කටයුත්ත ප්‍රයෝගික නොවෙනවා නම්, එය පොදු දහමක් හෙවත් විශ්ව දහමක් වෙන්න බෑ. "දහම සංකීර්ණ වුවත් එය බුද්ධිමතුන්ට පමණක් නොවිය යුතුයි". (සෝපාක නම් පහත් කුලයේ සිටි දුප්පත් දරුවාත් ඔහුගේ මවත් බුදුන්වහන්සේගෙන් බණ අසා ඉතා සුලු වෙලාවකින්ම සෝවාන් වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මෙය 'පෙර පිං' නිසා සිදුවූවක් ලෙස නොව, ඔවුන් දහම තේරුම්ගත් නිසා සිදුවූවක් ලෙසයි අපි වටහා ගත යුත්තේ). 

ආගම දහම සංකීර්ණ වෙන්න පුළුවන්, ඒත් ඒ සංකීර්ණතාවය අපේ හිසට ලොකු බරක් වෙන්න විදිහක් නෑ. අපේ අතත් කොච්චර සංකීර්ණද. ඒත් ඒ සංකීර්ණතාවය අපට ගැටළුවක් වෙලා නැහැ නේද?

බුදු දහම වැනි සමහර උගැන්වීම් මිනිසුන් විසින්ම සංකීර්ණ කරලා කියලයි මට හිතෙන්නේ. එනිසා එය වටහා ගැනීමට බෞද්ධයින් ඉතා වෙහෙසක් ගන්නා බව දකින්නට පුළුවන.

මම ඉස්ලාම් දහම සරළව හඳුන්වා දෙන්න උත්සහ ගන්නම්. මෙය සොබාදහමේ දහම හෝ විශ්ව දහම වන ආකාරය බලන්න


මුලින්ම විශ්වය පිළිබඳව දල අදහසක් ගමු.

  1. මිනිසාට ග්‍රහණය වන විශාලතම දේ කුමක්ද? විශ්වය
  2. විශ්වයට ආරම්භයක් තිබේද? ඔව්. (නුතන විද්‍යාවේ පිළිගැන්ම [බිග් බැන්ග් තියරිය]ට අනුව වසර බිලියන 13.7ට පමණ පෙර).
  3. එසේ නම් මෙම විශ්වය තුල පවතින ආගම හෝ දහමක උපරිම ඉතිහාසය කොපමණද? නුතන විද්‍යාවට අනුව වසර බිලියන 13,7ක් විය යුතුයි.
  4. ඉන් එහාට දිවයන ආගමක් පිළිබඳව විශ්වාස කල හැකිද? නුතන විද්‍යාවට අනුව පිළිගන්න බැහැ. (එහෙත්, බෞද්ධාගම වැනි ධර්ම ඉතිහාස වල අපි අහල තියෙන සාරා සංකීය කල්ප ලක්ෂ ගණන් එපිටට ගිය අතීතය සහ එකල මනුෂ්‍යයන්ගේ පැවැත්ම, මෙය ඇතිවන නැතිවන චක්‍ර ලෙස සිදුවන බව ආදිය සැලකිල්ලට ගත්තත් එහි ආරම්භයක් ගැන සඳහනක් නෑ. ඉස්ලාම් දහම තුල ඉහල අහස් හතක නිර්මාණයක් සහ එහි විනාශය ගැනද කතා කරයි. කෙතරම් විශාල විශ්වයන් ඇතිවී නැති වී නැවත නැවත චක්‍ර ලෙස සිදු උනත්, දෙවියන් අහස් හතක් සහිත විශ්ව නිර්මාණය කල බව සඳහන් කලත් අප වටහා ගත යුතු ප්‍රධානතම කාරනාව වන්නේ ඒවා සියල්ල ආරම්භයක් සහිත 'නිර්මාණ' ලෙසට දැකිය හැකි බවය). 
  5. විශ්වයේ ආරම්භය පිළිබඳව මිනිසා දරන අදහස කුමක්ද? (මේ සඳහා මතවාද දෙකක් ඇත)

  • 1). ඉබේම, හේතු කාරකයක් නොමැතිව හටගැනීම. - මෙය පිළිගැනීමට නම් හේතුඵල දහම ප්‍රතික්ෂේප කළ යුතුයි. (ආරම්භ වන සෑම දෙයකටම හේතුවක් තිබිය යුතුය). 

ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව අදහසක්.

1. මෙම විශ්වය තුල "ඉස්ලාම් දහම" පටන් ගත්තේ කවදාද? විශ්වය ආරම්භ වූ මොහොතේ සිටම එයට අදාල දෙවියන්ගේ නීතිය, දහම හෝ දිව්‍ය ආඤාවට කියන නම ඉස්ලාම්ය. 

2. පළමු මිනිසා වඳුරන්ගෙන් ඇති උනාද? නුතන විද්‍යාවට අනුව අද එය පිළිගනු ලබන්නේ නැත. ඊට අමතරව, ලොව සිටින යුදෙව්වන්, ක්‍රිස්තියානුවන් සහ මුස්ලිම් යන සියල්ලම පිළිගන්නේත් මනුෂ්‍යයන් ආදම් [අ.ස] නැමති පළමු මිනිසාගෙන් මනුෂ්‍ය දරුවන් ලෙස පෘතුවිය පුරා ව්‍යාප්ත වූ බවයි. පරිණාමවාදය ලොව තුළ ප්‍රචලිතව තිබුනත් ඉහත කී අය එය පිළිගන්නේ නැත.

3. පළමු මිනිසාට උපතක් තිබේද? ඉහත කී ජන සමාජ සියල්ල ඔහු සර්වබලධාරී දෙවියන්වහන්සේගෙ මැවීමක් ලෙස පිළි ගනු ලබයි. 

4. ඉස්ලාම් දහමට අනුව මනුෂ්‍යයා ආරම්භ වුයේ කවදාද? දෙවියන්වහන්සේ විසින් පළමු මිනිසාව නිර්මාණය කල දවසෙ සිට. මේ ගැන මෙහි ඇති සබැඳි ලිපි වලින් කියවා බලන්න. 

5. ඉස්ලාම් දහමට අනුව පෘථිවියට මනුෂ්‍යයා බිහි වුයේ කවදාද? දෙවියන් පළමු පිරිමි මිනිසාව සහ පළමු කාන්තාව ස්වර්ගයේදී නිර්මාණය කර පසුව පෘතුවිය වෙත එවන ලදි. 

6. පෘථිවිය මත ජනගහණ වර්ධනය පිළිබඳව අදහසක්.

මුලින්ම පළමු මිනිසා සහ ඔහුගේ බිරිඳගෙන් දරුවන් බිහිවී ඔවුන් ටිකෙන් ටික ජනගහණය ලෙස වැඩිවී ලොව පුරා ව්‍යාප්ත වී අද වන විට මිය ගිය අයට අමතරව බිලියන 8ක් පමණ ජීවතුන් අතර සිටී.  

7. පෘථිවියෙහි පළමු මිනිසාගේ දහම ඔහුට ලැබුනේ කාගෙන්ද? දෙවියන් පළමු යුවල නිර්මාණය කර ඔවුන්ට දෙවියන්ගේ දහම ලබා දී එය ඔවුන්ට නියම කෙරිණ. පසුව ඔවුන් පෘතුවියට පැමිණි පසු ඔවුන්ගේ දරුවන්ටත් එම දහමම අනුගමණය කරවන ලෙස උපදෙස් දුනි. ආදම් අ.ස සහ ඔහුගේ සමීප දරු මුණුපුරන් මිය ගිය පසු කලින් කලට නබිවරුන් හරහා ඔහුගේ ඉදිරි දරු පරම්පරා වලට එම දහමම යාවත්කාලීණ කරමින් පහළ කරන්නට විය.

8. පළමු මිනිසාට ඔහුගේ නිර්මතෘ (දෙවිඳුන්) ඔහුට දුන් දහම කුමක්ද? දෙවිඳුන්ගේ නියමයන්ට අනුව ජිවත්වන ජිවන සැලැස්ම (එය ඉස්ලාම් ලෙස හඳුන්වයි).

9. පළමු මිනිසා (ආදම් අ.ස)ට වෙනත් ශාස්තෘවරුන් හිටියද? නැත. ඔහුගේ ශාස්තෘන් වහන්සේ ඔහුගේ නිර්මාණකරුය.

10. ඔහු නැමදුවේ කාවද ? ඔහු ස්වර්ගයේ සිටියදීත්, පෘතුවියට පැමිණි පසුත් ඔහු නැමදුවේ ඔහුගේත් සියල්ලෙහිත් නිර්මතෘ වන එකම දෙවියන්වහන්සේටය.

11. පෘථිවියෙහි වසන සියල්ල පළමු මිනිසාගේ දරුවන් නම්, අද ඔහුගේ දරුවන් වන අප නමදින්නේ, අප පිළිපදින්නේ, අපගේ මුල්ම පියාට ඔහුගේ නිර්මාතෘගෙන් උරුම වු, මුල්ම පියා අනුගමනය කල දහම වන ඉස්ලාම්ද?  නැත්නම්, ආදම් (හෙවත් මුල්ම පියා)ට පසු කාළීනව බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමක් ද?

පළිතුරු 3 කි.

  1. මිනිසුන්ගෙන් සමහරු පිළිපදින්නේ අපගේ මුල්ම පියා ඇදහු, විශ්වයේත් තමාගේත් නිර්මාතෘ හෙවත් අල්ලාහ් දෙවියන්ගේ දහම වන ඉස්ලාම්ය. (මගේ පිළිතුරත් මෙයයි)
  2. මිනිසුන්ගෙන් තව ජන කොටසක් පිළිපදින්නේ අපගේ මුල්ම පියා ගෙන් පසු බිහිවූ වෙනත් ශාස්තෘවරුන් දෙසූ දහමකි. බුදුවරුන්, සායි බාබා, ඕෂෝ හෝ වෙන ඕනෑම මිනිසෙකු හදුන්වා දුන් දහමක් විය හැක. එය භෞතික වස්තු නැමදීමක් පවා විය හැක).
  3. තව ජන කොටසක් කිසිම දහමක් පිළිපදින්නේ නැත.

ඉස්ලාම් ස්වභාවික දහමකි

1. සෑම මනුෂ්‍යයෙකුටම ඉස්ලාම් දහම ගැන දැන ගැනීමට ශාස්තෘවරුන් උවමනා ද? නැත.

2. එසේ නම් ඔහු තම දහම, තමා නමදින්නේ කාටද යන්න පිළිබඳව  දැනගන්නේ කෙසේද? එය ස්වභාවික වූ දහමයි. එය තමා තුලමත් ඇත. 

3. උදාහරණ මගින් පෙන්විය හැකිද? ඔව්. බාහිර ලෝකයට කිසිම අයුරකින් නොගැටුණ පුද්ගලයා අදහන දහම කුමක්ද? එයයි පිළිතුර. එයද "ඉස්ලාම් දහමම" වේ. කුඩා කල සිටම කැලෑවක තනියම ජීවත් වූ (ටාසන් වැනි) මිනිසෙකුට වුව තම ස්වභාවික දහම අනුගමනය කරමින් සිටිය හැක. (නිසි පරිදි දෙවියන්ව හදුනා ගැනීමේ ස්වභාවය මිනිසා තුලම ඇත).

නමුත් තම සමාජය වෙත (තම නිර්මාතෘ විසින් පැහැදිලි සාක්ෂි සහිතව) දුතවරයෙක් ඒවා තිබේ නම් එම සමාජය ඔහුව අනුගමනය කිරීම අනිවාර්‍යය වේ.

4. අද සමාජය තුල තියෙන්නෙත් ඔය කියන ඉස්ලාම් දහමමද? ඔව්

5. එහෙනම් ඉස්ලාම් දහමේ ශාස්තෘවරුන් පැමිණ තිබෙන්නේ ඇයි? තමා තුල ඇති තම ස්වභාවික දහම අමතක කල අය‍ට මතක්කර දීමට, එම දහම අනුගමනය කල හැකි බව ආදර්ශයක් මගින් පෙන්වා දීමට, නව සමාජයන්ට දෙවියන් විසින් නියම කර ඇති නව නීතී රීති යාවත්කාළීන කිරීමට, සුභාසිංශන ලබා දීමට, අණතුරු හැඟවීමටට, දෙවියන්ගේ පණිවිඩය මහජනයා අතර ව්‍යාප්ත කිරීමට එසේ නබිවරුන්ව එවා ඇත.

6. ඔය කියන ස්වභාවික දහම යන්න ටිකක් පැහැදිලි කරනවද? සියල්ලෙහි නිර්මාතෘ තමා නිර්මාණය කළ සියල්ලට ලබා දුන් දහම ඉස්ලාමයයි. පණ ඇති හෝ පණ නැති සියල්ල එම දේව නීතියට අනුව ක්‍රියාත්මක වෙමින් පවතී. එය සොභදහමේ නීතිය ලෙසයි බොහෝ අය හඳුන්වන්නේ.

7. මුල අමතක කල ජනයා නොමග ගියේ කෙසේද? පසුකාළීනව උපන් ජනයා ඔහුගේ පළමු පියා නොකළ දේ කළේය. එනම්, තම නිර්මාතෘ ගේ උපදෙස්වලට පිටින් ගියහ. ඔහුට නිසි ගෞරවය ලබා දීම හෙවත් නැමදීම පවා මග හැරීය. එසේම ඔවුන් වෙනත් දේවලට, වෙනත් මිනිසුන්ට, ගස්, ගල්, රූප, පිළිම සහ තමන් සෘෂිවරුන් ලෙස හැඳින්වූ අයට වැඳ වැටුණහ. මිනිසුන් තම දෙවියන්ගේ උපදෙස් අනුගමනය කරනවා වෙනුවට වෙනත් උපදෙස් අනුගමනය කළේය. සමහරු තමන්ගේ නිර්මාතෘව වැරදියට තේරුම් අරන් ක්‍රියා කරනවා. සමහරු කිසිම සාක්ෂියක් නැතුව දෙවිවරුන් ලෙස තමන්ගේම සිතින් මවාගත් රූප සාදා ගත්හ. මේ ආකාර වලින් මිනිසුන්ගෙන් සමහරෙක් නොමග ගියේය.

8. ස්වභාවික දහම හැම කෙනෙක් තුලම තියෙනවා කියල කොහොමද පිළිගන්නේ? ඔබ ඔබේම හදවතින් අහන්න. ඔබ කුමන ආගම ඇදහුවත් ඔබ කුමන හෝ මොහොතක ඔබ ඔබේ දෙවියන්ව අමතන ස්වභාවය ඔබ තුලින් මතුවෙනවා. 

9. මුස්ලිම් නොවන අයත් දන්න දෙවිගොල්ලෝ ගොඩක් ඉන්නවා (තිස් තුන් කෝටියක් විතර). ඉස්ලාම් දහමේ කියන රූපයක්වත් නැති එකම දෙවියෝ හඳුනාගන්න පුලුවන්ද? ඔවුන් විශ්වාස කරන දෙවිගොල්ලෝ කිසිවෙකු පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඉස්ලාම් දහම තුල පෙන්වා දෙන මෙම විශ්වය මවා, පෝෂණය කරමින්, පාලනය කරමින් සිටින එකම සර්වබලධාරී දෙවියන් සිටින බවට බුද්ධිය තියෙන කෙනෙකුට නම් සාක්ෂි සහිතව පෙන්වන්නට පුළුවන්.

10. දෙවියන්ගේ උපදෙස් අපට දැකබලා ගන්න පුලුවන්න්ද? ඔව්, කිසිදු සැකයක් නැතිව ඕනෑම වෙලාවක දැකබලා ගන්න පුලුවන්.

11. ඉස්ලාම් දහම ට අදාලව පූජක පක්ෂයක් සිටිනවාද? ඔවුන් සරණ යා හැකිද? කොහෙත්ම නෑ. ඉස්ලාම් දහමට පුජක පක්ෂයක් නැත. නමුත් ඔබේ පහසුව සඳහා ඉස්ලාම් සම්බන්ධව නිවැරදි දැනුම ඇති අයෙකුගෙන් සහය ලබා ගැනීම වඩා හොඳය. හඳුණා ගැනීමේ පහසුවට දැණුම ඇති අය එක් එක් නම් වලින් හඳූන්වනවා. 

12. ඉස්ලාම් ගැන දැන ගැනීමට මා සුදානම් විය යුත්තේ කෙසේද? හොදම දේ නම් සවන්දීමයි. එහිදී පක්ෂග්‍රාහී නොවී, හැඟීම් වලට වහල් නොවී, මධ්‍යස්ත මනසකින්, බුද්ධිමත්ව සවන්දෙන්න. මූළික පොත් පත් කියවන්න. ඉතාම ඉක්මනින් විශ්ව දහම කුමක්ද යන්න ඔබට තේරුම් ගත හැක. ඔබ මහාචාර්ය කෙනෙක් හෝ අධ්‍යයාපනික් දැනුම අඩු කෙනෙකු හෝ වෙන්න පුලුවන්. ඉස්ලාම් දහම හඳුනා ගැනීමටත් එය භාවිතා කිරීමටත්, එයින් උපරිම ඵල නෙලා ගැනීමටත් ඔබේ එවන් තත්ව බලපාන්නේ නැත. ඉස්ලාම් දහම බුද්ධිමතුන්ට පමණක් වැටහෙන දහමක් නොවේ. එය ඕනෑම කෙනෙකුට ගැලපෙන දහමකි.

"ඉස්ලාම්" යන්නෙහි සිංහල අරුත දැනගනිමු.

  1. 'ඉස්ලාම්' කියන්නේ ආගමට දීල තියෙන නමද? නැත, එය අරාබි වචනයකි. කෙටිම සිංහල අරුත "සාමය"යන්නයි. (යටහත් වීම, අවනත වීම, හා කීකරු වීම යන්න ඒ තුල ගැබ්ව ඇත)
  2. මොන විදිහේ සාමයක්ද? මේ විශ්වයේ මන්දාකිණිවල සිට, සෞරග්‍රහ මණ්ඩලවල සිට, ග්‍රහ ලෝක, ඉර හද, අහස පොලොව සුළග ගින්දර කඳු මුහුඳු ගහ කොළ සතා සිව්පාවා මනුෂ්‍යයද ඇතුළුව අපේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වන, ගෝචර නොවන සියල්ලගේම පවතින සාමය "ඉස්ලාම්" යන වචනය තුල ඇත. 
  3. සාමය (සලාම්) ඇති විට අපිට කුමක් බලාපොරොත්තු විය හැකිද? ප්‍රචණ්ඩත්වය නොමැතිකම, පීඩනය නොමැතිකම, විප්ලවයක් නොමැතිකම, ක්‍රියා පිලිවතෙහි අව්ලක් නොමැතිකම, නීතිය අකුරටම ක්‍රියාත්මක වීම, මනා පාලනයකින් යුක්ත වීම, යහපත් වටපිටාවක් ගොඩනැගීම වැනි යහපත් ප්‍රතිඵල ඇතිවේ. මෙය විශ්වයේ ක්ෂිරපත වල හෝ වේවා සෞරග්‍රහ මණ්ඩලවල හෝ වේවා, පෘථිවියෙහි අහස, පොලව හෝ මුහුද තුල හෝ වේවා, මහා කැලයක හෝ කුහුඹි ගුලක හෝ දෙබර කුඩුවක හෝ පව්ලක හෝ තමා තුළ හෝ විය හැකි. 
  4. ඉහත සදහන් ආකාරයට ග්‍රහලෝක වල, ගින්දර වල, ගහ කොළ, සතා සර්පයා ආදිය තුල හා මිනිසා තුල 'සලාම්' හෙවත් 'සාමය' තියෙන්නේ කෙසේද? ග්‍රහ ලෝක කෙසේ ක්‍රියා කරන්නේ දැයි බලන්න. තම නිර්මාතෘගේ අණට, නිතියට එකගව, එනම්, යටහත්වද, අවනතවද, කිකරුවද තම කක්ෂයන් තුල නියමිත වේගයන්ගෙන් නියමිත චලන පමණක් දක්වයි. දේව නීතියට පිට නොයනු ඇත. එනම් ග්‍රහලෝක තුල සාමය හෙවත් 'ඉස්ලාමය' ඇත.

උදාහරණයක් බලන්න. සූර්යයා තම ක්ෂීරපථය තුල පැයකට කි.මි. 720,000ක වේගයෙන් තම කක්ෂය තුල පිහිටුවමින් නිශ්චිත දිසාවකට දෙසට ගමන් කරන බව නුතන විද්වතුන් පවසයි. සූර්යයා සමග පෘථිවියත් එම ගමනේ යයි. තම තමන්ගේ දුර පරතරයන් නිසියාකාරව තබා ගනී. මෙය නිකම්ම වෙනවද? ඉරයි පෘතිවියයි සාකච්චා කරගෙන මේ ගමන යනවද? නැත්නම් මෙය මෙහෙයවන, නිතිය ක්‍රියාත්මක කරවන, අණදෙන කව්රුහරි ඉන්න ඕනිද?  

ඉරද, මුහුදද, ගහකොලද, කුහුබියගේ ශරීරයද දේව නීතියටම අනුව ක්‍රියා කරයි. එනිසා ඒවා තුල සාමය (ඉස්ලාම්) ඇත. 

මිනිසාගේ ශරීර අවයවයන්ද මුළු සිරුරමද දේව නීතියට අනුව ක්‍රියා කරයි. එනිසා මිනිසාගේ සිරුර තුල සාමය (ඉස්ලාම්) ඇත. කොටින්ම සෑම අංශුවක්ම දේව නීතියට අනුවම මිස වෙන ක්‍රමයකට ක්‍රියාත්මක වන්නේ නෑ.

දැන් මිනිසාගේ සිත ක්‍රියා කරන්නේ කෙසේ දැයි බලමු.

මිනිසාගේ පුද්ගලික ස්වභාවය අනුව සිත් ආකාර දෙකකට ක්‍රියා කරයි .

a) දෙවියන් විශ්වාස කරන (දේව නීතියට එකඟව පවතින) සිත [එතුල සාමය හෙවත් 'සලාම්' ඇත].

b) දෙවියන් විශ්වාස නොකර දේව නිතියට පිටුපා පවතින සිත (එතුල සාමය හෙවත් 'සලාම්' නැත). මොහු තුලද දේව විස්වාසය ඇත. නමුත්, තමාගේ හෝ වෙන යම් බලපැමක හේතුවෙන් එය තමා තුලම සඟවා/ යටපත් කර ඇත). තමාගේ සිත දෙවියන්ව ප්‍රතික්ෂේප කළත් ඔහු නොදැනුවත්වම ඔහුගේ ශරීරය දේව නීතියට අනුවම කටයුතු කරමින් සාමය පවත්වාගෙන සිටී. එනම් ඔහුගේ ශරීරය තුල ඉස්ලාම්ය පවතී. හිත තුල ඉස්ලාමය යටපත් වී ඇත. 

"මුස්ලිම් "යන්නෙහි සිංහල අරුත දැනගනිමු.

  1. 'මුස්ලිම්' කියන්නේ අරාබිකරයෙන් බිහි වූ මනුෂ්‍ය ජාතියක්ද? නැත
  2. 'මුස්ලිම්' කියන්නේ කුමන හෝ මනුෂ්‍ය ජාතියක් හදුන්වන වචනයක්ද? නැත
  3. 'මුස්ලිම්' යන වචනය මනුෂ්‍ය නොවන, පන ඇති හෝ පන නැති දෙයකටද භාවිතා කල හැකි නම්, 'මුස්ලිම් යන අරාබි වචනයෙහි සිංහල අරුත කුමක්ද? විශ්වය සහ එහි ඇති ඝන, ද්‍රව, වායූ සියල්ල එහි නිර්මාතෘ ගේ නිර්මාණය. නිර්මාතෘට සහ ඔහුගේ නියමයන්ට යටහත්ව, කීකරුව සහ අවනතව ජීවත් වෙන කෙනා හෝ පවතින දෙය (එනම් එම නිර්මාණය අරාබි බසින් "මුස්ලිම්" දෙයක් ලෙස හඳුන්වන්න පුලුවන්).

ව්‍යාකරණ රටාව බලන්න

සලාම් =දේව නීතියට යටත්ව, කීකරුව, අවනතව "සාමයෙන් පැවතීමේ" ක්‍රියාව.

මු= අරාබි ව්‍යාකරණ වලට අනුව ක්‍රියාව මුලට යොදන අකුරකි (මෙය දැමු පසු ක්‍රියාව->, "ක්‍රියාව කරන්නා" බවට පත් වේ).

මු + සලාම් = මුස්ලිම්  [සලාම්/සාමය කියන දේව නීතිය ක්‍රියාවට නගන්නා]

උදා: මු + දරස් = මුදරිස් (උගන්වන්නා) [දරස්/ උගැන්වීම ක්‍රියාවට නගන්නා]

  • ඉර මුස්ලිම් ද? ඉරද එකම නිර්මාතෘ ගේ නිර්මාණයකි. ඉර වෙත එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතින නිසා ඉර මුස්ලිම් ය. ඔබගේ හදවතද එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතින නිසා එයද මුස්ලිම් ය. මේ අනුව මුළු සොබා දහමම මුස්ලිම් ය.
  • මනුෂ්‍යයාගේ හදවත ක්‍රියාත්මක වන්නේ කාගේ නියමයන්න්ට අනුවද? තමා එය ක්‍රියා කරවීමට ඉදිරිපත් වී නැත්නම්ද, තමාගේ මව හෝ පියා හෝ එය කර දෙන්නේද නැත්නම් සහ එය "නිකම්ම වෙනවා" කියල කියන්න තරම් අපේ බුද්ධිය අපට ඉඩ දෙන්නෙත් නැත්නම්, එය අපේ ශරීරයේ හිමිකරු විසින් කරනවා හෝ කරවනවා විය යුතුය් නේද? හේතුව නම්, මේ විශ්වය වගේම ඔබෙත් මගෙත් ශරීරයේ හිමිකරු ඔහු (එනම් එකම සර්වබලධාරී දෙවියන්-අල්ලාහ්) නිසා. 
  • විශ්වයම දෙවියන්ගේ අණට යටත්ව අවනතව කීකරුව සිටින නිසා මුළු විශ්වයම "මුස්ලිම් "ද? ඔව්. පැහැදිලිවම.
  • එසේ නම් සමාජය තුල 'මුස්ලිම් නොවන ජන කොටසක්' ලෙස අපි හදුන්වන්නේ කාවද? වැදගත්ම ප්‍රශ්නය මෙයයි .පිළිතුර ටිකක් විස්තර ඇතුව ලියන්නම්.  

මිනිසා මෙම පෘතුවිය තුල සුවිශේෂී නිර්මාණයකි. මුළු පෘතුවියමද, අහසද පොළවද ඉර හඳ තරු ගහ කොල සතා සිව්පාවා ගංඟා මුහුදු වැලි පස්  සුලඟ ආදී සෑම දෙයක්ම මිනිසාට සේවය කරයි. දෙවියන් ඒවා මිනිසා ට අවනත කර දී ඇත. (ඒවා මිනිසාට නතුව පවතී, ඒවාගෙන් මිනිසාට වැඩ කර ගත හැකියි)

මිනිසා මෙම පෘථිවියෙහි නියෝජිතයා වේ. ඔහුට අනිකුත් නිර්මාණ වලට වගේ නොව, සියුම්ව හැසිරිය හැකි සිරුරට අමතරව සුවිශේෂී බුද්ධියක්ද, සිතීමේ නිදහසද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ නුවණද, යමක් දෙස විචාර බුද්ධිය මෙහෙයවල භෞතික මෙන්ම පාර භෞතික දේද සිහිනුවනින් දැකීමේ හැකියාවද උරුම කරදී, ඉරද හඳද ඇතුළුව පෘථිවියමද තමාට නතුකර දී (එනම් පෘථිවියෙහි නියෝජිත තනතුර දී) මේ පෘතුවිය තුලට කිසියම් කාලසීමාවකට මිනිසාව එවා ඇත. 

මිනිසාට අවශ්‍ය සියලු පහසුකම්ද, ඇස් කන් ආදියද, කතා කිරීමේ ලිවීමේ උපකරණ හැදීමේ හැකියාවද දී ඇත. ජිවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තමා තුලම දැනුමද, හෘද සාක්ෂියද ස්ථාපිත කර දෙවියන් නැමදීමේ චින්තනයද මනසතුලට කවා, ඒ අතර තුර නොමග යමින් තම ස්වාමියා/ තම නිර්මාතෘ/ තම දෙවියා අමතක කල අයට මතක් කරදීමටද ජිවත් වන්නේ කෙසේද යන්න පිලිබදව ආදර්ශයෙන් උපදෙස් දී යහමග කියාදීමට සහ තම දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන භයානක ඉරණම ගැන බිය ගැන්විමටද තම දෙවියන්ට කිකරු වන්නන්ට සුභාශින්සනද රැගෙන වරින්වර දෙවියන්ගේ දුතයන්ද ඒවා ඇත. තව්රාත්, සුබුර්, ඉන්ජිල්, කුරාන් වැනි ධර්ම පුස්තකද (දිවය්‍ය හෙලිදරව්වන්) එවා ඇත.

තත්වය මෙසේ තිබියදී 'තමන්ට නිර්මාතෘ කෙනෙක් නැත'ය කියමින් 'විශ්වය නිකම්ම බිහි උනා' කියමින්, 'විශ්වයේ පාලනය නිකම්ම වෙනවයි කියමින්, පැහැදිලි සාක්ෂි සහිත පැමිණ ඇති දෙවියන්ගේ වදන්, දිවය්‍ය හෙලිදරව්වන් දේවදුතයන් ප්‍රතික්ෂේප කරමින් වෙන වෙන මාර්ගවල යන උදවිය, වෙන වෙන ශාස්තෘවරුන් අනුගමනය කරන උදවිය "මුස්ලිම් නොවන" ජන කොටසයි. ඒ අයගෙත් හිත පමණක් මුස්ලිම් නොවේ. නමුත් තම සිරුර දෙවියන්ට අවනතයි. එනිසා සිරුර මුස්ලිම් වේ .

තම නියෝජිතයා(මිනිසා) තම ජිවිත කාලය තුල තමන්ට ලැබුණු ශරීරයද ලැබුණු වස්තුවද දරුවන්ද අසල්වැසියන්ද සතා සිව්පාව සමගද ගහ කොල සමගද තම පරිසරය සමගද කෙසේ ජිවත් වන්නේ දැයි තමා නිරීක්ෂණය කරමින්ද සටහන් කරමින්ද සිටින බව දෙවියන්ම පවසයි. 

හොඳ නරක තෝරාගෙන, පරිසරයට ලෙන්ගතුව හෝ හානිකරවද, පින් වැඩ හෝ පව් වැඩ කරගෙන, සාමයෙන් සමගියෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් ද, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී ලෙසද, යහපත් හෝ අයහපත් පරිසරයක් තෝරාගෙන, යහපත් හෝ අයහපත් ජිවනොපයක් කරගෙන, මනුෂ්‍යයෙක් ලෙස හෝ තිරිසනෙක් ලෙස තම බුද්ධිය යොදවමින් තම ජීවිතය කරගෙන යාමේ නිදහස මිනිසාට දී ඇත. (මෙය දෙවියන්ගේ සුවිසේෂි පරීක්ෂණයකි). 

අන්ධයෙක්ව නිර්මාණය කර ඔහුට වෙනම පරීක්ෂණයක්ද, ඇස් අන්ධ කෙනා දිහා බලාගෙන ඇස් තියෙන කෙනා හැසිරෙන ආකාරය, එය වෙනම පරීක්ෂණයක් ලෙසද ඉදිරිපත් කර ඇත.

සෑම මනුෂ්‍යයෙකුටම ස්වාදීන වූ පරීක්ෂණයකි. පරීක්ෂණයේ ප්‍රතිපල තම තමන් තම නිර්මාතෘ ගෙන් මරණින් පසු විනිශ්චය දිනදී බලාපොරොත්තු වන්න. (ඒ ගැන පසුව කියවන්න). එක මිනිසෙකුට අවස්ථා දෙකක් ලබා දී නැත. මේ වන විටත් මෙලොව හැර ගොස් ඇති සියලුම දෙනාගෙම ජීවිත කතාවන් දෙවියන් ලඟය. 

මරනින් පසු අප සියල්ලට "බර්සාහ්" නමින් හඳුන්වන මරනින් මතු ජීවිතකාලයක් ඇත. අප මිය ගිය පසු නැවත අපට මේ ලෝකයට මනුෂ්‍යයෙක් ලෙස හෝ සතෙකු ලෙස පැමිණිය නොහැකිය. නැවත දෙවියන් අපව කැඳවන දවසේ ඔහු වෙත යා යුතුව ඇත. ඉන් පසු අප මෙලොව කල කී දේ සම්බන්ඳයෙන් විනිශ්චය ලබා දෙනු ඇත. විනිශ්චය අනුව අපගේ ගමනාන්තය ස්වර්ගයෙන් හෝ අපායෙන් කෙලවර වනු ඇත. ඒ නවාතැනෙහි නිමක් නැති කාලයක් ඉන්නට සිදුවනු ඇත. එනිසා අපගේ මරනින් මතු ජීවිතය සැපවත් කර ගැනීමට අපගේ නිර්මාතෘ ගේ උපදෙස් වලට අනුව ජීවිතය සකසා ගැනීම අප සැමගේ අරමුණ විය යුතුය.

මෙම විශ්වය තුල (අපට ඉහලින් ඇති අහස් තුල) අප වැනි තව කොපමනදෝ නිර්මාණ කර ඇති බවද දෙවියන් කුරානය තුලින් අපට දන්වා ඇත (අල් කුර්ආන් 23:17). ඒවා සියල්ල හේතුවක් සඳහාම නිර්මාණය කල බවත් පවසා ඇත. දෙවියන්ගේ කැමැත්ත පරිදි යම් දිනක මෙම විශ්වයම විනාශකර දමනු ඇත. ඉන් පසු නැවත අලුත් තත්ව හට ගැනීමක් පවා විය හැක. එය සදාකල් පවතින සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්තය. ස්වර්ගවාසීන් සහ නිරාවාසීන් දෙවියන් කැමති තාක් කල් ස්වර්ගයන්හී සහ නිරයන්හී සිටිනු ඇත. ඒවා නිශ්චිත වශයෙන්ම ඇති බව දෙවියන්ම අපට දන්වා ඇත.

by sjw

මේ පිළිබඳව ඔබේ අදහස අප වෙත එවන්න

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us