මානව දයාවෙන් පරිපූර්ණ වූ ඉස්ලාම්......

19/01/2018

ඉස්ලාම් ධර්මය තුළ මානව ප්‍රජාවගේ පැවැත්මට අවශ්ය කරන්නා වූ සියලුම උපදෙස් පූර්ණ වශයෙන්ම  ඇතුළත් කර තිබෙන නිසා ආගම සහ ප්‍රායෝගික ජීවිතය ඒකාබද්ධ ව පවත්වා ගත හැකිය. 

මිනිස් ජීවිතයේ පැවැත්මෙහි සෑම අංශයක්ම සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ප්‍රසන්න තාවය උදෙසා පවත්වාගෙන යාම මුස්ලිම්වරයෙකුගේ වගකීමයි....... බොහෝ විට මිනිසා ආගම් පිළිබඳව තේරුම් ගන්නේ පවත්නා ආගම්වලට අනුව ක්‍රියාත්මක වන්නාවූ වත් පිළිවෙත් සමුදායක් අනුවය. උදාහරණයක් ලෙස ආගමානුකූල ජීවිතයක් ගත කරන අයෙකු සෑම විටම තමන් විශ්වාස කරන ආගමට අනුව ජීවිතයේ පැවැත්ම සකසා ගෙන ක්‍රියාත්මක වනු දැකීම තුළින් ආගමික භක්තිය අපි හඳුනා ගන්නෙමු. බෞද්ධයෙක් නම් නිතර විහාරස්ථානයට යාම, පොහොය දවසෙහි පෙහෙවස් සමාදන් වීම, දාන මානාදී කුසල ධර්මයන් තුල ක්‍රියාත්මක වීම, ත්‍රිවිධ රත්නය ඇසුරු කරගෙන ජීවිතය පවත්වාගෙන යාම, යනාදී කරුණු තුළින් අප බෞද්ධයෙක් හඳුනා ගන්නෙමු....... කිතුනු වෙත්නම් ඔහුව හඳුනා ගැනීමට ඇත්තා වූ ලක්ෂණය වන්නේ නිතර දේව වචනය පරිහරණය කිරීම, සබත් දින නොකඩවා දේවස්ථානයට සහභාගිවීම, කිතුනු සහෝදරත්වයේ ඇසුර නිරන්තරයෙන් පවත්වාගෙන යාම, යේසුස් වහන්සේගේ ප්‍රේමය සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම. ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම යනාදී කරුණු තුළිනි....... මුස්ලිම්වරයකු අප හඳුනා ගන්නේ තොප්පියක් දමාගෙන සිටීම, අරාබි සංස්කෘතියේ ඇඳුමක් පරිහරණය කිරීම, රැව්ල වවා සිටීම, පස්වේල සලාතය ට පල්ලියෙහි සහභාගිකම පවත්වාගෙන යාම. අල්ලාහ් ගේ වචනය අනුව හා මහම්මත්නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන ක්‍රියාවලියෙහි ඇතුළත් කරුණු ක්‍රියාත්මක කිරීම යනාදී මූලික කරුණු මුල්කරගෙන ය.......... ඉහතින් දක්වන ලද කරුණු අනුව අප ආගම් හා ආගමිකයන් හඳුනාගෙන ඇත්තෙමු. මේ සෑම ආගමක් තුළම පවත්නා ප්‍රතිපත්තීන් එකිනෙකට වෙනස්ය. මෙම වෙනස්කම් ඔස්සේ ආගම් පිළිබඳ ව යම් යම් මතවාද හා විවේචන සමාජය තුළ ඉස්මතු ව පවතී. බොහෝ විට පිටතින් පෙනෙන ස්වභාවයන් තේරුම් ගැනීම කරණ කොට ගෙන එකී වෙනස් වන්නා වූ කාරණා පිළිබඳව ගැටලු සහගත ස්වභාවයන් සමාජය තුළ ඉස්මතු වී පෙනෙන්නට ඇත...... මානව සමාජයෙහි කුමන විශ්වාසයන් ක්‍රියාත්මක වුවද එම විවිධත්වයන් තුළ ඒකීයත්වයට පැමිණිය හැකි මනුෂ්‍යත්වයේ නියමයන් ක්‍රියාත්මක වන්නේ නැත. සෑම ආගමක් ම පොදුවේ ගත් කල එම ආගම් පහළ වී තිබෙන්නේ සමාජයේ තෝරාගත් පිරිසකට පමණක් නොවේ. එය සමස්ත මානව වර්ගයා ම නියෝජනය වන පරිදි ක්‍රියාත්මක වන්නාවූ පදනමක් යටතේ ආගමික ඉගැන්වීම් ක්‍රියාත්මක වන්නේය........ සෑම ආගමකින් ම උගන්වන කරුණු ඉතා පැහැදිලි ව අධ්‍යයනය කර බලන විට එම ආගම් තුල සර්ව සාධාරණ මානව නියමයන් ක්‍රියාත්මක වන්නේය. මිනිසුන් ආගම තුළට ඇතුල් වීමට ප්‍රථම මනුස්සත්වය පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. මනුෂ්‍යත්වයෙන් තොර කිසිදු දහමක් මිහිපිට ඇත්තේ නැත........ බුද්ධියට ඉඩ නොදී භක්තිය පමණක් මුල් කොටගත් කිසිදු සමාජයක් ස්ථාවරව ගොඩනැගෙන්නේ නැත. අද සියලු ආගමිකයන් දෙස බලන විට ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ බාහිරව පවත්වාගෙන යනු ලබන භක්තිය සහ වත් පිළිවෙත් සමුදායක් පමණි. මිනිස් අභ්‍යන්තරය තුළ ආගමික ඉගැන්වීම්වල හරයන් ක්‍රියාත්මක වන්නේ නැත. ආගම් පහළ වූයේ සමාජයක් ගොඩනැගීමට නොව තනි තනි පුද්ගලයා වශයෙන් ආධ්‍යාත්මිකව හා සදාචාරාත්මකව ගොඩනැගීම සඳහාය....... අද කණ්ඩායම් වශයෙන් ආගමික මූලධර්මයන් පදනම් කොට ගෙන සමාජය ගොඩ නගන්නට උත්සාහ කළ ද පුද්ගල අභ්‍යන්තරය තුළ ආගමික හරයන් ක්‍රියාත්මක කිරීමට මිනිසුන් උත්සාහ කරන්නේ නැත. ආගම් ආරක්ෂා කිරීමට, ආගමික සත්‍යතාවයන් පැහැදිලි කිරීමට, තමන්ගේ උගත්කමට අනුව සමාජය හැඩ ගැස්වීමට, තමන්ගේ ආගම සත්‍ය ආගමක් ලෙස උද්දීපනය කිරීමට අන්‍ය ආගම් සංසන්දනය කිරීම හා හරි වැරදි පෙන්වා දීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වී සිටිති... එහෙත් කිසිවකු ආගමානුකූලව ජීවිතය හැඩගස්වා ගනිමින් එම ප්‍රතිපත්තීන්ට අනුකූලව ජීවිතය පවත්වාගෙන යාමට, පවුල් සංස්ථාව ගොඩනැගීමට, උත්සාහ කරන්නේ නැත. එම නිසා ආගම් යනු මිනිසාට තේරුම් ගැනීමට අපහසු ඉතා ගැඹුරු සත්‍යතාවයන් බවට පත්වී තිබේ. බොහෝ දෙනෙකු ආගමේ නාමයෙන් තම තමන්ගේ බලය හා තම තමන්ගේ ස්ථාවරත්වය ගොඩ නගා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත..... සෑම ආගමික නායකයකු විසින් ම තමන්ගේ ආගම උද්දීපනය කරන ආකාරයෙන් අන්‍ය ආගම් හෙළා නොදකින ලෙස අවවාද කර තිබෙන බව ආගම් පිළිබඳ ව අධ්‍යයනය කරන්නෙකුට ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකියාව ඇත. ඉස්ලාම් ධර්මය තුළ මහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් අවවාද කරනුයේ තමන්ගේ ආගමට මෙන් අන්‍ය ආගම්වලටද ගරුත්වය දෙන ලෙසයි. මෙයින් අදහස් වන්නේ සමාජයේ පැවැත්ම සහ සහෝදරත්වය ආරක්ෂා කරගැනීමට නම් ආගමට පළමුවෙන් මිනිසා මනුෂ්‍යත්වයට ගරු කිරීමට මුල්තැන දිය යුතු බවයි. මනුෂ්‍යත්වයෙන් තොර කිසිදු ආගමක් නො ව ක්‍රියාත්මක වන්නේ නැත...... ඉස්ලාම් ධර්මය සමස්ත මානව ප්‍රජාවට ම හිතකාමී ධර්මයක් ලෙස ගොඩ නැගී තිබෙන්නේ ආගම තුළ උගන්වන්නා වූ විශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවක් තුළ ඉගැන්වීම නිසා ය, එහි සෑම කෙනෙකුටම හිමිවන්නේ එකම ස්ථානයකි ලොකු කුඩා උගත්-නූගත් දුප්පත්-පොහොසත් අලුත් පරණ භේදයක් ඉස්ලාමය තුළ නොමැත. ඉස්ලාමය ඉතා වැදගත්කොට සලකන්නේ කලි මවට යටත්ව ඊමානය ආරක්ෂා කරගැනීම පමණි...... විශ්වාසය සැබැවින්ම ආරක්ෂා කර ගන්නා අයෙකු කිසිවිටෙක තවත් අයෙකු විවේචනය කරන්නේ නැත, හිංසා පීඩා කරන්නේ නැත, අයුතුකම් ක්‍රියාත්මක කරන්නේ නැත, සැමවිටම සමාජය තුළ සාමය සහජීවනය ොඩනැගෙන ලෙස ක්‍රියාත්මක වන්නේය, එයට පමණක් මුල්තැන දෙන්නේ ය, ඒ අය ඉස්ලාමයේ මූලික පදනම. අප පදනම හැර වෙනත් කිසිවක් ඉස්ලාමය අනුමත කරන්නේ නැත. එම නිසා ඉස්ලාම් ධර්මය මානව හිතවාදී ධර්මයක් ලෙස සමාජ සංස්ථාව තුළ ක්‍රියාත්මක වන්නේ ය. එහි සැබෑ යථාර්ථය ශුද්ධවූ අල්කුර්ආනය ක් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන ක්‍රියාවලියත් පදනම් කොටගෙන පමණක් ක්‍රියාත්මක වන්නේය..... ඕනෑම සමාජයකට, ඕනෑම කාලයකට, ඕනෑම ප්‍රතිපත්තියකට එකඟ ව ඉස්ලාම් ධර්මය ක්‍රියාත්මක වන්නේය. එහි වැදගත්කම කුමක්ද යන්න සොයා බැලීම හා තේරුම් ගැනීම මානව සමාජයෙහි වගකීමකි..... වර්තමානයෙහි බොහෝ වියතුන්, ආගමික නායකයන්, සමාජය දැනුවත් කරන්නාවූ වගකිවයුතු පුද්ගලයන් විවිධාකාර ලෙස ආගමික හරයන් සංසන්දනය කිරීම හා අඩුපාඩු පෙන්වා දීම පක්ෂග්‍රාහීව සිදුකිරීම නිසා ආගමක් තුලින් උගන්වන්නා වූ සත්‍යතාවයන් සමාජයට තේරුම් ගැනීමට හැකියාවක් නොමැත. එම නිසා ආගම් පිළිබඳව වැරදි මත සමග ද්වේශසහගත සම්බන්ධතාවයන් ගොඩ නැගෙනු ඇත...... ශ්‍රීලංකාව වැනි කුඩා දිවයිනක විවිධ ආගම් සහ විශ්වාසයන් තුළ ජීවත්වන මානව සංස්ථාව තුළ සාමය ස්ථාපිත කිරීමට නම් ප්‍රධාන වශයෙන් ආගමික විශ්වාසයන් පිළිබඳව අවබෝධය සෑම කෙනෙක්ම ලබාගත යුතුය, එමෙන් ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප රටට ආවේණික වූ සංස්කෘතිමය ලක්ෂණවලට ගරු කළ යුතුය, එකිනෙකා විවිධත්වයෙන් යුතු නමුත් විවිධත්වය තුළ ඒකත්වය ඉස්ලාමය තුළ උගන්වන පදනම ය එය තේරුම් ගැනීමට ආරාධනා කිරීම අපගේ වගකීමකි. (ibrahim sebastian