සොබාදහමේ දහම සහ මිනිසාගේ දහම නිවැරදිව හඳුනා ගනිමු.

අතීතයේ එක් කාලයක සොබාදහමක් තිබී නැත. වෙනත් වචන වලින් කිවහොත්, අප ජීවත් වන විශ්වය (හෝ වෙනත් කුමණ හෝ විශ්වයක්) ආරම්භ වී නොතිබුණි. එසේ නම් ඒවා ආරම්භ වූයේ කෙසේද? අපගේ විශ්වය ආරම්භ වී එය මනා පිළිවෙලකට සැකසුනේ කෙසේද? එය පාලනයකින් යුතුව පවතින්නේ කෙසේද? එයට බලපාන ධර්මතාවය කුමක්ද? පසුව එහි සිටින මිනිසුන්ට විවිධ ආගම් ඇති උනේ කෙසේද?

අප සිටින විශ්වය ආරම්භ උනේ මීට වසර බිලියන 14කට පමණ පෙර එක්තරා ලක්ෂයක් පුපුරා යාමෙන් බවත් එය Big Bang ලෙස නම් කළ බවත් විද්‍යාඥයින් පවසයි. (එම ලක්ෂය ආරම්භ වීමට හේතුව විද්‍යාඥයින් නොදනී). අප නොදන්නා වෙනත් විශ්වයන් ඇතිවී තිබුනා නම් ඒවාත් කුමණ හෝ ආකාර වලට ආරම්භ වන්න ඇති. 

මෙහිදී මෙම "ආරම්භ උනා" යන වචනය ඉතා වැදගත්. යමක් ආරම්භ වෙන්නට හේතුවක් තිබිය යුතුයි. "හේතු-ඵල දහම" ලෙස අප හඳුන්වන්නේ එයයි.

විශ්වය/න් සහ එහි ඇති දේවල් ආරම්භ වීමට හේතුවක් බලපෑ නිසා ඒවාට අපි "හේතු සහිත තත්වය" ලෙස නම් කරමු.

මෙම හේතු සහිත තත්වයේ සිටින හෝ තිබෙන සියල්ල යම් අවස්ථාවක ආරම්භ වූ නිසා ඒවා කිසිවක් සදාකල් නොවේ. එසේම ඒවා ස්වයංපෝෂිතද නොවේ. එනිසා ඒවා සර්වසම්පූර්ණද නොවේ. එනිසා ඒවා කිසිවක් සර්වබල්ධාරීද නොවේ. ආරම්භයක් මෙන්ම ඒවාට අවසානයක්ද ඇත. තමා වෙනත් හේතුවක් මත බිහිවූ නිසා තමාට අලුතින් යමක් ඇති කිරීමට (හෝ මැවීමක් සිදු කිරීමටද) නොහැක.

මෙය පහදා ගැනීම සඳහා අපි සුදු A4 කොළයක් ගෙන එය දෙකට වෙන් කර එහි දකුණු පසට ඉහත කී තොරතුරු ඇතුලත් කරමු. ආරම්භයේදී එම කොළයේ දකුණු පස හිස්ව තිබුණි. (විශ්වයන් නොතිබුණි. සොබාදහමක් නොතිබුණි, කිසිම ධර්මතාවයක් නොතිබුණි).

මෙසේ දකුණු පස හිස් තත්වයක තිබෙන අවස්ථාවේ මෙම කොළයේ වම් පස පෙදෙසේ පහතින් සඳහන් කරන ආකාරයේ ආරම්භයක් සහ අවසානයක් නොමැතිව සදාකල්ම, ස්වයන්පෝෂී සහ සර්වබලධාරී තත්වයෙන් සිටින "හේතු රහිත තත්වය" ක් තිබිය යුතුය. එවන් තත්වයක් නොපවතී නම් දකුණු පස විශ්වයන් බිහි වීමට බලපාන වෙනත් කිසිම ක්‍රමයක් නොමැත.

මෙම වම්පස සදහන් හේතු රහිත තත්වයට අප දෙවියන්වහන්සේ ලෙස නම් කරමු. ඔහු සර්වබලධාරීය. සර්වබලධාරී නම් එක්කෙනෙක් පමණක් විය යුතුය. ඔහු සදාකල් පවතින්නකි. ඔහු ස්වයන්පෝෂීය. ඔහු සර්වබලධාරී නිසා ඔහුට මැවීම් හරහා නිර්මාණ බිහි කළ හැක.

අතීතයේ දෙවියන්වහන්සේ පමණක් තනිව සිටි අවස්ථාවක ඔහු අදහස් කර ඔහුගේ හැකියාවෙන් (මෙහි දකුණු පස පෙදෙසෙහි) අලුතින් නිර්මාණ බිහිකිරීම ආරම්භ කෙරිණ. "දෙවියන්ගේ නිර්මාණ සොබාදහම ලෙස හැඳින්විය හැක". එසේ අලුතින් ඇති කරන නිර්මාණ වල (එනම් ඔහු ඇති කළ සොබාදහමේ) සෑම තත්වයකටම, සෑම දෙයකටම ඔහු ඒවා කෙසේ පැවතිය යුතු යැයි දක්වමින් ආඤා පළ කෙරින. මෙම ආඤා හෙවත් නීති පද්ධතිය සොභා දහමට බල පවත්නා නීති පද්ධතියයි. එම නීති පද්ධතිය ඉස්ලාමය තුල (අරාබි භාශාවෙන්) හදුන්වන්නේ ඉස්ලාම් ලෙසයි. මෙම ඉස්ලාම් යන වචනය අස් + සලාම් යන වචන වල එකතුවකින් සැදී ඇත. අස්සලාම් යනු "සාමය" යන්නයි. එනම් දෙවියන් තමා නිර්මාණය කළ සොබාදහමට ඉදිරිපත් කල දහම "සාමයේ දහමයි". එනම් ඉස්ලාමයයි.

එයට අනුව සූර්‍යයාට අදාල දහම ඉස්ලාම් දහමයි. එනම් සූර්‍යයාට දෙවියන් නිකුත් කල ආඤාවයි. සූර්‍යයා තම නිර්මාතෘගේ අණට යටහත්ව, කීකරුව, අවනතව කටයුතු කරයි. සූර්‍යයා තම ආලෝකය නිශ්චිත ප්‍රමානයෙන් නිකුත් කරමින්ද, තම නිශ්චිත ගමන්මාර්ගයේ ගමන් කරමින්ද පවතින්නේ එනිසයි. සූර්‍යයා තම කාර්‍යය 100% ක්ම නිවැරදිව ඉටු කරමින් සොබාදහමේ සාමය පවත්වා ගැනීමට දායක වෙයි.

පෘතුවියද එසේමය. චන්ද්‍රයාද එසේමය. සෑම ආකාශ වස්තුවක්ම ක්‍රියාත්මකවන්නේ තම නිර්මාතෘවරයාගේ අණට අවනතව, යටහත්ව සහ කීකරුවය. එනිසා මුළු විශ්වය පුරාම ඉස්ලාමය ක්‍රියාත්මකයි. විශ්වය පුරාම සාමය පවතී. 

මුළු විශ්වයටම බලපවත්නා ධර්මතාවය එහි නිර්මාතෘ ගේ ආඤාවයි. ඔහු සියල්ල නිර්මාණය කර, ඒවා සංවර්ධනය කරමින් පෝෂණය කරමින් සහ පරිපාලනය කරමින් සිටී.

පෘතුවිය තුල ඇති සෑම අංශුවක්ම ක්‍රියාත්මක වන්නේ ඒවායේ නිර්මාතෘගේ දේව නීතියට අවනතව, යටහත්ව සහ කීකරුවයි. සෑම ශාකයක්ම සහ සෑම සත්ව ශරීරයක්ම ක්‍රියාත්මක වන්නේ තමන්ගේ නිර්මාතෘ තමන්ට නියම කර ඇති ආඤාවට අනුවය. එනිසා සෑම ජීවී ශරීරයක්ම තම ආගම (තම මාර්ගෝපදේශය) ලෙස දේව අණ හෙවත් ඉස්ලාමය පවත්වා ගනී.

ලොකු හෝ කුඩා සෑම සතෙක්ම තම ශරීරයෙනුත්, තම සිතිනුත් තම නිර්මාතෘගේ අණට අනුවම ජීවත් වේ. කුරුල්ලන් දේශ දේශාන්තර වලට සංචාරය කරන්නේද, නැවත ඔවුන්ගේ මුල් පදිංචි ස්ථානය කරා පියාඹා එන්නේද තම නිර්මාතෘගේ අණට අනුවය. දෙවියන් ඔවුන්ට එම හැකියාව ලබා දී ඇත.

බොහෝමයක් ශාක සහ සතුන් තම වර්ගයා බෝ කරන්නේ වසරේ නිශ්චිත කාලයකදීය. අනිකුත් කාල වල ඔවුන් ලිංගික කටයුත්තේ නියැලෙන්නේ නැත. එයට හේතුව, දෙවියන් විසින් ඔවුන්ට දී ඇති ආඤාව එයයි. ඔවුන් එයට යටහත්ව, අවනතව සහ කීකරුව කටයුතු කරයි. 

බීජයකින් පැළයක් හටගෙන එය විශාලවී එමගින් නැවත බීජ නිකුත් කිරීම දක්වා එය තුල සිදුවෙන සියළුම ක්‍රියාදාමයන් සිදුවන්නේ එහි නිර්මාතෘගේ සැලැස්මට සහ ආඤාවට අනුවමය. සතුන්ද තම ජීවන චක්‍රය තුල විවිධ අවස්ථාවන් පසුකර යන්නේ ඔවුන්ගේ නිර්මාතෘ වන දෙවියන්වහන්සේගේ සැලැස්මට සහ ආඤාවට අනුවය. .

ඒ අනුව සෑම ශාකයකම සහ සෑම සතෙකුගේම දහම ඉස්ලාම් දහමයි.

සොබාදහමේ ඇති සෑම (ඝන, ද්‍රව, වායු) වස්තුවක්ම, සෑම ජීවී සෛලයක්ම, සෑම ශරීරයක්ම, සාමය රකින්නන් වේ, සාමයට අනුව කටයුතු කරන්නන් වේ, දෙවියන්ට හෙවත් තම නිර්මාතෘට අවනත වූවන්ය. එනිසා ඒ සියල්ලක්ම මුස්ලිම්ය. ඒ සියල්ලෙහි දහම සොබාදහමේ දහම හෙවත් ඉස්ලාම්ය. 

දෙවියන් විසින් නිර්මාණය කළ ලොකු හෝ කුඩා ඕනෑම වස්තුවක්, ඕනෑම ජීවී සෛලයක්, ඕනෑම ජීවී ශරීරයක් තම නිර්මාතෘ තමන් වෙත පළ කළ ආඤාව හෙවත් අණට අවනතව, යටහත්ව සහ කීකරුව ප්‍රතිචාර දක්වයි නම්, ඒ අණට අනුව ක්‍රියා කරයි නම් ඒවා සොභා දහමේ දහමට අනුකූලව පවතින්නන් වේ. සොබාදහමේ සාමය රකින්නන් වේ. මෙයට ඉස්ලාමය තුල (අරාබි භාශාවෙන්) මුස්ලිම් යනුවෙන් හඳුන්වයි. එම වචනය සෑදී ඇති ආකාරය බලන්න.

අරාබි ව්‍යාකරණ වලට අනුව ක්‍රියාව ඉදිරියට "මු" දැමූ විට එය "ක්‍රියාව කරන්නා" බවට පත් වේ. එයට අනුව, සලාම් යන වචනය ඉදිරියට මු දැමූ පසු මු + සලාම් එකතු වී මුස්ලිම් යන්න සෑදේ. එහි අර්ථය සාමය රකින්නා, සාමය පවත්වාගෙන යන්නා, දේව නීතියට අනුව කටයුතු කරන්නා ලෙස පෙන්වා දිය හැක.

අජීවී වස්තූන්ද, ශාකද, සතුන් සියල්ලක්මද දේව නීතියට අනුවම කටයුතු කරන නිසා ඒ සියල්ලද මුස්ලිම් ලෙස හදුන්වා දිය හැක. 

එසේම, දෙවියන්වහන්සේගේ තවත් ශ්‍රේෂ්ඨ නිර්මාණාත්මක ජීවීන් සමූහයක් වන දේවදූතයන් හෙවත් මලායිකාවරුන්ද මුස්ලිම් වේ. ඔවුනුත් 100%ක්ම තම නිර්මාතෘගේ ආඤාවට අවනතව යටහත්ව කීකරුව සිටී.  

ඉහත සඳහන් සියල්ලගේම දහම සොභාදහමේ දහමයි.

දැන් මිනිසාගේ දහම නිවැරදිව හඳුනා ගනිමු.

සියළුම මිනිසුන්ගේ ශරීරද තම නිර්මාතෘට අවනතය, යටහත්ය, කීකරුය. සෑම අවයවයක්ම, සෑම සෛලයක්ම අදහන ආගම සොභා දහමේ දහම වන ඉස්ලාමයයි. එනම් ඒවායේ නිර්මාතෘ ඒවාට දී ඇති ආඤාවන් ක්‍රියාවට නැගීමයි. එනිසා ඒවාද මුස්ලිම්ය. හදවත මුස්ලිම්ය, දිව මුස්ලිම්ය, වකුගඩුව මුස්ලිම්ය. අපගේ සෑම සෛලයක්ම, සෑම අවයවයක්ම ක්‍රියා කරන්නේ ඒවා වෙත තම නිර්මාතෘ නියම කර ඇති අණට අනුවම නිසා ඒ සියල්ලක්ම මුස්ලිම්ය. එනිසා මිනිසාගේ ශරීරය මුස්ලිම්ය. මියගිය මිනිස් ශරීරයද දිරාපත් වී නැවත පස් බවටම පත්වන්නේද සොභාදහමේ නීතියටම අනුවමය. එයද දෙවියන්ගේ ආඤාවයි.

නමුත් මිනිසා සොභා දහමේ ඇති අජීවී වස්තූන්ගෙන්ද, සතුන්ගෙන්ද, මලායිකාවරුන්ගෙන්ද වෙනස් වන එක් කාරනාවක් ඇත. එනම් මිනිසාට තම සිතින් මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කෙනෙකු විය හැක. 

දෙවියන් මිනිසාව පෘතුවියෙහි නියෝජිතයා ලෙස එවා ඔහුට නිදහස් සිතුවිලි ගැනීමේ අවස්ථාව ලබා දී ඔහු එය භවිතා කරමින් තම නියෝජිත භාවය පෘතුවිය තුල කෙසේ ඉටුකරන්නේද යන්න පරීක්ෂාවකට ලක් කර ඇත.

සමහර මිනිසුන් තම සිතුවිල්ලෙන් තම නිර්මාතෘ ගෙන් දුරස්වී තමන්ට නිර්මාතෘ කෙනෙකු නැතැයි අදහස් කරමින්ද, සොභාදහම ඉබේ හටගත් එකක් යැයි අදහස් කරමින්ද ජීවත් වේ. තම සිතුවිල්ලෙන් මවාගත් නව දහම් තුල ජීවත් වෙමින් කාලය ගත කරයි. විශ්වයේ ඇති සියල්ල දෙවියන්ගේ ආඤාවට අවනතව, යටහත්ව සහ කීකරුව (සොබාදහමේ දහමත් එක්ක) එකට සිටින විට ඔහු මනසින් එයට පිටින් ජීවත් වේ. ඔහු තම සිතින් මවාගත් විවිධාකාරයේ වෙනත් දහම් සමග තම ජීවිත ගත කරයි. මොවුන් සාමයේ දහමට පිටින් සිටින අය නිසා ඔවුන්ට මුස්ලිම් නොවන අය ලෙස හඳුන්වනු ලැබේ. ඔවුන්ව බෞද්දයින්, හින්දුවරුන්, ක්‍රිස්තියානුවන්, යහූදීන්, නිරාගමිකයින් යන නම්වලින් සමාජය තුල සිටිනු අපට දැකිය හැක. හින්දූන්, යහූදිවරුන් සහ ක්‍රිස්තියානිවරුන් දෙවියන්ව පිළිගන්නා නමුත් ඔවුන් දෙවියන්ගේ මාර්ගෝපදේශයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය නොකරන නිසා ඔවුනුත් මුස්ලිම් නොවන අය ලෙසම හඳුන්වයි. (මොවුන්ගේ ශරීර මුස්ලිම්ය, මනසින් මුස්ලිම් නොවේ).

සමහර මිනිසුන් තම නිර්මාතෘ විසින් තමාට එවා ඇති නබිවරුන්ව සහ මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිගනිමින් සොභාදහමට හිමි දහම හෙවත් ඉස්ලාම් දහම තුලම ජීවත් වීමට උත්සහ ගනී. එම මිනිසුන් මුස්ලිම්වරුන් ලෙස හඳුන්වනු ලබයි. (මොවුන්ගේ ශරීර සහ මනස යන දෙකම මුස්ලිම්ය).

මරණින් පසු අප සියල්ල නැවත තම නිර්මාතෘ හමුවට යා යුතුව ඇති අතර එහිදී තම තමන් මෙලොවදී ඇදහූ ආගම් ගැන ප්‍රශ්න කරන බව දෙවිඳුන් පවසා ඇත. දෙවියන්ගේ ආඤාව හෙවත් සොබදහමේ දහමට පිටින් ජීවත්වී මිය ගිය අයට එදිනදී කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදුවන බව මිනිසුන් සියල්ලගේම නිර්මාතෘ තම අවසන් මාර්ගෝපදේශය වන අල් කුරාණය තුලින් අනතුරු අඟවා ඇත.

by sjw

දෙවියන් වහන්සේ අල් කුර්ආනය තුළින් ස්වභාවධර්මය ගැන පුළුල් ලෙස කථා කර ඇත. එහි වාක්‍ය කිහිපයක් පහත දැක්වේ.

අහස් හිද භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද?; (34:9)


ඒවා කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන්, තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද? නැතහොත් අහස්ද භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද? නැත. මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය; (52:35,36)


නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රියෙන් දහවල වසා දමන්නේය. (දහවලෙන් රාත්‍රිය වසා දමන්නේය). එය ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදුවෙමින් පවතින්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයන්ද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවේද? සකළ ලෝකයන්ම උත්පාදනය කර, පෝෂනය කර, සංවර්ධනය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (7:54) [මෙම දින අල්ලාහ්ගේ සන්නිධානයේ දිනය. පෘතුවි දින නොවේ].


අහස් හතක්ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදුවිය හැකි සියළු කාරණාවන් ගැන වූ) නියෝගයන් පහළ කරමින්ම සිටින්නේය; (65:12)


වලාකුළු උසුළාගෙන යන සුළඟද අපිම යැව්වෙමු. එම වලාකුළෙන් වැස්සද අපිම වසින්නට සලස්වන්නෙමු. එය අපි ඔබට පොවන්නෙමු. (වැස්සෙහි ජලය වලාකුළෙහි) ඔබ එක්රැස් කර තැබුවේ නැත. (අපිම එක්රැස් කරමු) (15:22)


ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස් හීද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍යය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු. (15:20)


(ඔබ සංචාරය කරණු පිනිස) නැව ඔබට වසඟ කර දී, තම නියෝගයන්ට අනුව සාගරයෙහි තරනය කරන්නට සලස්වන්නේය. (ඇළ මාර්ගද) ඔබ කැමති ආකාරයට තරනය කිරීමට පහසුකම් ලබා දුන්නේය. (14:32)


ඔහුම රාත්‍රියද, දහවලද (ඇති කළේය). සූර්යයාද චන්ද්‍රයාද උත්පාදනය කළේය. (මේවා තමන්ගේ සීමාවන් තුළ) පිහිනා යන්නේය. (21:33)


බීජද, ඇටද නියත වශයෙන්ම අල්ලාහ්ම පැලී (පැළවෙන්නට) සලස්වන්නේය. මරණයට පත්වූ දැයෙන් පණ ඇති දැය ඔහු ඉකුත් කරන්නේය. පණ ඇති දැයෙන් මළ දැයද ඔහු නුකුත් කරන්නේය. ඔහුම ඔබගේ දෙවියන්ය. එබැවින් ඔබ (ඔහු හැර දමා) කොහේ නම් දුවන්නෙහුද්? (6:95)


නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි (බාර ගනු ලැබූ) ධර්මය ඉස්ලාමයයි. (3:19)


ඔහුම මෙලොවෙහි ඔබව නියෝජිතයින් බවට නිර්මාණය කළේය. එබැවින් (ඔබගෙන්) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ විනාශය ඔවුන් කෙරෙහි පවරනු ලැබේ; (35:39)


(නබියේ!) කවුරුන් මෙලොව ජීවිතයෙන් මත් වී තමන්ගේ ධර්මය පුහු සෙල්ලමක් වශයෙන්ද, (විහිළුවල් වශයෙන්ද) ඇර ගත්තෝද, ඔවුන්ව (ඔවුන්ගේ ගමනෙහි) අත්හැර දමනු. එහෙත් 'සෑම ආත්මයක්ම තම (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් (විනිශ්චය දිනදී) විපතට ඇතුළු වනු ඇත' යන සත්‍යය ඔබ (ඔවුන්ට) මතක් කර දෙනු; (6:70)


(තවද) අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ ආරක්ෂකයාය. ඔවුන්ව අන්ධකාරයෙන් (පිටතට ගෙන) ඉමහත් ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ගේ ආරක්ෂකයින් ෂෙයිතාන්වරුන්ය. ඒවා ඔවුන්ව ඉමහත් ආලෝකයෙන් (පහ කර) අන්ධකාරය දෙසට ඇතුළු කරන්නේය. (තවද) ඔවුන් නිරාවාසීන්ය. (තවද) ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත. (2:257)


ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us