මිනිසුන් ආබාධිත හා විකෘති වී උපදින්නේ ඇයි?

කෙටි විභාගයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් ජය ගැනීමට නම් මෙහි පළමු පිළිතුර ප්‍රමාණවත් වේ. නමුත් ජීවිත පරීක්ෂණය තුළ නම් එයට වෙනස් ආකාරයක පිළිතුරක් ඇති බව දැන සිටිය යුතුය.

පළමු පිළිතුර:- මිනිසුන් ආබාධිත සහ විකෘතිතා සහිතව උපත ලැබීමට හේතු ලෙස ජානමය සාධක, ගර්භණී සමයේදී සහ වර්ධනයේදී පාරිසරික විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වීම, මවට හෝ දරුවාට ජීවිතයේ මුල් අවධියේදී ඇතිවිය හැකි ආසාදන, ගර්භණී සමයේදී දෙමාපියන්ගේ සෞඛ්‍යය හා දුර්වල හැසිරීම, මවගේ මානසික තත්ත්වය, දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා සහ වෙනත් සාධකවල එකතුවක් ලෙස පෙන්වා දිය හැක.

ආධ්‍යාත්මික වටිනාකමක් ඇති දෙවැනි පිළිතුර සඳහා පසුබිම සැකසීම;

  1. මෙය යම් කිසි පෙර සැළසුමක ප්‍රතිඵලයක්ද? 
  2. මෙය පෙර ආත්මවල කළ අකුසල් නිසා කර්මය ඵල දීමක්ද?
  3. ඉහත කී විද්‍යාත්මක සාධක මත පමණක් බලපාන දෙයක්ද?
  4. සොබාදහමේ නියමයක්ද? මෙය ඉබේ (අහඹු ලෙස) සිදුවන්නක්ද?
  5. දෙවියන්ගේ කැමැත්තද? 
  6. ඉහත කරුණු කිහිපයක එකතුවක්ද?

ප්‍රශ්න කිහිපයක් ඇති බැවින්, ඒවා තර්කානුකූලව විසඳා ගත හැකි වන පරිදි එක් පිළිතුරක් සැපයීමේ අරමුණින් කරුණු සංවිධානය කිරීමට මම සිතුවෙමි.

පහත අදහස් වලට අපි සැමටම එකඟ විය හැක.

  1. ස්වර්ගයෙහි නම් කිසිඳු දුකක් නැත. 
  2. අපායේ නම් කිසිඳු සැපක් නැත. 
  3. පෘතුවියෙහි නම් දුකත් ඇත, මධ්‍යස්ථ භාවයත් ඇත, සැපත් ඇත. එහෙත් ස්වර්ගයේ තරම් සැප නැත, අපායේ තරම් දුක නැත.

ඉහත කාරනාවෙන් පැහදිලි වෙනවා ස්වර්ගයෙහි නම් ආබාධිත සහ විකෘතිතා සහිත අය නැති බව. එය අපිට වටිනා තොරතුරකි.

පහත දැක්වෙන්නේ අප පිළිගත් තවත් ලෞකික සත්‍යයන් කිහිපයකි.

  • රෝස මල් හරිම ලස්සනයි. නමුත් මුළු ලෝකයටම රෝස මල් පමණක් තිබුණා නම්? (නැහැ, විවිධත්වය ඊට වඩා හොඳයි). 
  • වෛද්‍යවරයෙකුගේ රැකියාව නම් හොඳයි. (නමුත් හැමෝම වෛද්‍යවරුන් නොවීමත් හොඳයි).
  • මේ ලෝකයේ හැමෝම පොහොසත් නම්? (ඒකත් ගැලපෙන්නේ නැහැ. දුප්පත් මිනිස්සුත් ඉන්න වෙනවා. නැත්නම්, කර්මාන්තයක් පවත්වාගෙන යන්න කම්කරුවන් පවා නැති වෙයි). 
  • සියළුම මිනිසුන් එක වගේ උනා නම්? (නැහැ. එහෙම උනොත් ආදරය කුමක්ද කියාවත් හඳුනා ගන්න බැරි වෙයි).
  • මේ ලෝකේ මිනිස්සු විතරක් හිටියනම්? (ඒක හරියන්නෙත් නැහැ. සතුන් නැතිව අපිට පැවැත්මක් නැහැ. ඔවුන් සොබාදහමේ සමතුලනයට විශාල මෙහෙයක් කරනවා).

අපි මේ විදියට දිගටම ලියාගෙන ගියා නම් නම්, මේ ලෝකය විවිධත්වයෙන් යුක්ත විය යුතු බව අපි තහවුරු කරනවා. මෙයයි මේ ලෝකයේ ස්වභාවය. අපි කැමති උනත්, නැතත් මේ ලෝකය පැවතීමට නම්, එහි ස්වභාවය පවත්වා ගත යුතුයි.

සරළ දාහරනයකින් පහදනවා නම්, මේ ලෝකය පෙට්‍රල් වාහනයක් නම්, පෙට්‍රල් වාහනයක ස්වභාවය එහි නඩත්තු විය යුතුයි. නැත්නම් එයට පැවැත්මක් නෑ. ස්වර්ගය විදුලි වාහනයක් නම් එයට එම ස්වභාවය තිබුනම ඇති. එනිසා පෘතුවිය නම් පෙට්‍රල් වාහනයේ තිබෙන සමහර උපාංග ස්වර්ගය නම් විදුලි වාහනයට අදාල නෑ. මේ දෙක දෙවිදිහක්. ස්වර්ගයේ ස්වභාවය අනුව එහි දුප්පතුන් සිටීමේ අවශ්‍යයතාවයක් නැහැ. නමුත් පෘතුවියට දුප්පතුන් නැතුව බැහැ. පෘතුවියේ ස්වභාවය අනුව මිනිසාට නින්ද අවශ්‍යයයි. නමුත් ස්වර්ගයේ ස්වභාවය අනුව මිනිසාට නින්දක අවශ්‍යතාවයක් නෑ. ස්වර්ගයේ ස්වභාවය අනුව එහි අලුතින් කුසල් එක් රැස් කීරීමේ අවශ්‍යතාවයක් නෑ. එනිසා ඒ වෙනුවෙන් සැකසුනු වටපිටාවක්ද එහි නෑ. නමුත් පෘතුවියෙහි ඉන්න මිනිසුන්ට නම් කුසල් රැස් කර ගැනීමට අවශ්‍යයයි. එනිසා එයට සරිළන වටපිටාවකුත් තිබිය යුතුයි. 

මේ තමයි ස්වභාවය අනුව අප භාර ගත යුතු විශ්ව සත්‍යය.

දැන් අපි අපේ මාතෘකාවට එමු. මේ තරම් විවිධත්වයෙන් හා මනාව සංවිධානය වී ඇති මේ පෘථිවියේ ස්වභාවය කුමක්ද? 

අපි හිතමු මිනිසා කරන අකුසල් වල ස්වභාවය නිසා මිය ගිය කිසිවෙක් මරණින් මතු නැවත වවුලන් සහ මී මැස්සන් බවට පත් නොවුනා කියලා. එසේ නම් වවුලන් සහ මී මැස්සන් (මී මැස්සියන්) විසින් පරාගනය සම්බන්ධව කරන කාර්‍යය ඇණ හිටිනවා. එය සිදුවුවහොත් අපගේ ශාක ලෝකයට කොපමණ හානියක් සිදුවනු ඇත්දැයි අපි දනිමු. එය මිනිසුන්ගේ හොඳ හෝ නරක ක්‍රියාවන් මත රඳා පවතී නම්, ස්වභාවධර්මයේ සමතුලිතතාවයට එයම භයානක තත්ත්වයකි. එනම් එවන් අහඹු ස්වභාවයකට වඩා මනා සංවිධානාත්මක සැලසුම් සහ කලමන්නාකාරීත්වයක් පෘතුවියෙහි පැවැත්ම සඳහා අවශ්‍යය වේ.

විශ්වයේ නිර්මාතෘ හෙවත් දෙවියන් වහන්සේ අපට (සාක්ෂි සහිතව) පවසන්නේ මෙම විශ්වයේ ඇති සෑම දෙයක්ම ඉතා සූක්ෂමව සහ නිශ්චිතව ඔහු විසින් සැලසුම් කළ බවයි. ඔහුට අනුව සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, පෝෂණය කිරීම, නඩත්තු කිරීම සහ පරිපාලනයද ඔහු වෙතින්ම සිදු වේ. 

ඔහුම අහස් හතම එක පිට එකක් වශයෙන් නිර්මානය කර ඇත්තේය. (මිනිසාණෙනී!) රහ්මාන්ගේ උත්පාදනයන්හී ඔබ කිසිම අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවත්ත් (එය අවධානය කර) බලනු. (එහි) කිසිම භේදයක් ඔබ දකින්නෙහිද? (නැවත) නැවතත් දෙවරක් බලනු. මෙසේ ඔබ කොතරම් වාර ගනනක් හාර හාරා බැලුවද, බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත. (76:4)

දෙවියන් අපට පවසන්නේ මුළු විශ්වයම නිරවද්‍ය ලෙස ඔහු නිර්මාණය කර ඇති බවයි. එතරම් දැයක් කළ ඔහුට නොදැනිව මෙම ආබාධිත සහ විකෘතිතා සහිත අය බිහි වෙනවා යැයි විශ්වාස කිරීම හෝ තවත් පාර්ශවයක් පවසන ආකාරයට මිනිසා පෙර කළ අකුසල් නිසා සතුන් බවට හෝ ආබාධිත සහ විකෘතිතා ඇති මිනිසුන් ලෙස නැවත නැවත ඉපදෙනු ඇතැයි පවසන තර්ක විශ්වාස කිරීම අසීරුය. විවිධත්වයෙන් යුතු වනාන්තරයක් නිර්මානය කිරීම දෙවියන්ගේ සැලසුමක් නම් විවිධත්වයෙන් යුතු මිනිසුන්ව නිර්මාණය කිරීමත් ඔහුගේම සැලසුමෙහි කොටසක් විය යුතුය.

දැන් අපට ඊළඟට මතුවන ප්‍රශ්නය නම්, දෙවියන් එසේ ආබාධිත සහ විකෘතිතා සහිත අයව නිර්මාණය කර ඔහු එයින් කුමක් බලාපොරොත්තු වන්නේද යන්නයි. 

බැලූ බැල්මට එය අසාධාරණ තත්වයක් ලෙස අපට හැඟේ. දෙවියන් වහන්සේ කාට හෝ කිසිම හෝ අසාධාරාණයක් කරාවිද? එසේ විය නොහැකිය. දෙවියන් යනු සර්ව සාධාරණ පාරිශුද්ධ කෙනෙකි. එසේ නම්, අපි දෙවියන් පවසා ඇති සමහර වදන් කිහිපයක් දෙස බලමු.

විශ්වය සහ මිනිසාව නිර්මාණය කළ කාරනාව පැහැදිළි කිරීම

අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් සදහා අපි නිර්මාණය කලේ නැත. (කුරානය 44:38,21:16). "අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නෙහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (23:115). මිනිසාණෙනී! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතුවල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින් සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමුවන්නෙහිය. (84:6)

ඉහත වැකි වලට අනුව පැහැදිලියි මෙම ජීවිත අවස්ථාව අපට පරික්ෂණයකට මුහුණදෙන අවස්ථාවක් ලෙසට ලබා දී ඇති බව. හැමෝටම ස්වාධීන සුවිශේෂී පරීක්ෂන අවස්ථාවන්ය. එහි එක් අවස්ථාවක් ලෙස අප අතරට පැමිණෙන ආබාධිත හෝ විකෘතිතා ඇති අයව සැළකිය හැක. මෙම ජීවිත කාලය ඔවුන්ට ලැබුණු ස්වරූපට අනුව එය ඔවුන්ටම පරීක්ෂනයක් වනවා සේම ඔවුන්ගේ ආබාධිත හෝ විකෘති තත්වය එසේ නොවන අයගේද පරීක්ෂන අවස්ථාවකි. 

(ඔහුම) තම නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත්කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනික් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමඟින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේ දැයි) ඔබව පිරීක්ෂා කරන්නේය. (6:165)

එසේ නම් ආබාධිත නොවන අය ආබාධිත අය වෙනුවෙන් කටයුතු කළ යුතු නැද්ද? සතුන්ට නැති භාන්ඩ නිර්මාණ හැකියාව දෙවියන් මිනිසාට දුන්නේ ඇයි? කකුල් නැති අය වෙනුවෙන් ඔහු රෝද පුටුවක් හෝ සාදා දිය යුතු නොවේද?

ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකුද යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. (67:2) පින් පව් කරන තත්වයෙන් අපි ඔබව (තබා) පිරික්සන්නෙමු; (21:35)

පොහොසතෙකු ලෙස මෙලොවට උපත ලැබූ අය එය මත පරීක්ෂාවට ලක්වේ. යමෙකු මෙලොව ඉපදීමට පෙරම ඔහු වෙනුවෙන් වෙන් කල ආයුෂ කාළය, වස්තු ප්‍රමාණය, ආහාර ප්‍රමාණය, හැඩරුව, දරුවන් ප්‍රමාණය ආදී සියල්ල වෙන් කර හමාරය. ඔහු එය භාවිතා කරන ආකාරය පරීක්ෂණයට ලක් කෙරේ. (උදාහරනයක්:-යමෙකු වෙනුවෙන් දෙවියන් වයස අවුරුදු 80ක් ද ආහාර ටොන් 40ක් ද නියම කර තිබුනා යැයි සිතමු. එයට අනුව ඔහු අවුරුදු 80 අනිවාර්‍යෙන්ම ජීවත් වෙනවා. ඔහු ආහර ටොන් 40ම ආහාරයට ගන්නවා. එහිදී ඔහු සාධාරනව ජීවත් වෙන්න උත්සහ ගත්තත්, ඔහු අසාධාරන ලෙස උපයා ජීවත් උනත් ඔහු ගන්නෙ එම ආහාර ප්‍රමාණයම පමණයි. අල්ලාහ් මිනිසාට අවස්ථාව දුන්නා. මිනිසාට පුළුවන් එය යහපත් හෝ අයහපත් ලෙස උපයාගෙන ආහාර ලෙස ගන්න).

ලස්සන රුවක් ලැබුණු කාන්තාවක් නම්, ඇය එය මත පරීක්ෂනයට ලක් කෙරේ. කෙනෙකුට අවලස්සන රූපයක් දී ඇයට ලස්සන රූපයක් ලබා දුන්නේ නිකමට නොවේ. එය පරීක්ෂණයේ අවස්ථාවකි.

ලස්සන රූපය නිසා ඇයට ලැබුනු වරප්‍රසාදයන් ගැනත්, ආබාධිත හෝ විකෘතිතා සහිතව උපත ලැබූ අය සම්බන්ධව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා ගැනත් විනිශ්චය දිනදී විනිශ්චයට ලක් කෙරේ. මේවා පුද්ගලික මෙන්ම සමාජීය මට්ටමින් එකිනෙකා අතර සිදුවූ සම්බන්ධතා ආදිය ගැනද විනිශ්චයට ලක් කෙරේ. ඇස් අන්ධ මිනිසෙක් පාරක් මාරුවන්න උත්සහ ගන්නා විට ඇස් ඇති අය ඔහුට උදව් කළාද නැද්ද යන්න එදිනදී විනිශ්චයට ලක් කෙරේ. ආබාධිත දරුවන් ඇති දෙමාපියන්වත්, ඔහුගේ නෑදෑයිනුත්, අසල්වාසීනුත් ඒ හරහා පරීක්ෂණයට ලක් කෙරේ. ධානපතියෙකුගේ දරුවන් ඔවුන්ට පියා හරහා ලැබුණු වස්තුව හරහා පරීක්ෂණයට ලක් කෙරේ. දෙවියන්ගේ පරීක්ෂණය අති ශූක්ෂමය. සර්ව සාධාරණය.

ඔබගෙන් සමහරෙකුව අනික් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමඟින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේ දැයි) ඔබව පිරීක්ෂා කරන්නේය. (21:35)

දෙවියන්ට කැමති නම් මේ ලොවත් ස්වර්ගය මෙන් කිසිඳු අඩුපාඩුවක් නැතිව නිර්මාණය කිරීමට හැකිය. එසේ කලා නම් කව්ද ජයග්‍රහනය කරන්නෙ? විභාගයකින් තොරව සම්මාන, සහතික, ගෞරවනාම ලබා දීම අසාධාරනය. 

ඉහත සඳහන් ආකාරයේ පරීක්ෂණයක් සඳහා අප ජීවත්වන පරිසරයේ දුප්පත්-පොහොසත්, පරිපූර්ණ-ආබාධිත, ලස්සන-අවලස්සන, බලය සහිත-බලය රහිත, උගත්-නූගත්, දක්ෂ-අදක්ෂ, හිමි-අහිමි, රෝගී- නිරෝගී ආදී විෂමතාවයන් තිබිය යුතුය.

ඔබගේ මව්වරුන්ගේ කුසයෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය: (39:6)

ඔහුම තමන් කැමති හැඩයකින් ඔබව (ඔබේ අවයවයන්) සවි කළේය; (82:8)

පාද අහිමිව සිටි අයගෙන් විනිශ්චය දිනදී ඔහුගෙන් පාද සම්බන්ධව (පාද අහිමි වීම නිසා) ඔහු නොකල දේවල් ගැන ප්‍රශ්න නොකරාවි. එනිසා එදින ඔහුට දෙවියන් ඉදිරියේ පහසුවක් දැනේවි. නමුත් පාද සතිතව ජීවත් වූ අයට තමන් පාද භාවිතා කරමින් ගිය තැන්, කල දේ සියල්ල කෙරෙහි පිළිතුරු දීමට සිදු වේවි. එනිසා එදින ඔහුට එය අමාරු අවස්ථාවක් වේවි. එදින තමන්ගේම අත පය ඇස් පවා තමන්ටම විරුද්ධව සාක්ෂි දරන බව පවසා ඇත. 

අද ඇස් තිබෙන ඔබ සමහර විට ඇස් වලින් වැරදි කර තිබුනා නම් හෝ ඇස් නිසි පරිදි භාවිතා නොකර තිබුනා නම් ඇස් දෙක නිසාම ඔබ විනාශ වූ බව  එදින වටහා ගැනීමටද ඉඩ ඇත. එනිසා අද ඇස් ඇති ඔබ ඒ ගැන බිය විය යුතුය. නමුත් ඇස් නැති කෙනාට ඒ ගැන බියක් ඇතිකර ගත යුතු නැත.

කෙසේ නමුත් ආබාධිත සහ විකෘතිතා හෝ අධික දිළිඳු කම, සමහර අහිමි වීම්, වේදනා ආදිය සහිතව මිනිසුන් අප අතර සිටිනු දකින විට අපට ඒ ගැන සංවේගයක් ද ඇතිවේ.

නමුත් අල්ලාහ් සර්වසාධාරණය. 

මේ පරීක්ෂණ කාලය දීර්ඝ කාලීන එකක් ද කෙටි කාළීන එකක්ද? 

ඇත්තටම මෙය ඉතාම කෙටි කාලීන පරීක්ෂණයකි. වසර 75ක් ජීවත් වන පුද්ගලයාට දුන් පැයක පරීක්ෂනයක් වැනිය. එම කෙටි කාලය තුල තමයි අපි පාසැල් ගියේ, රැකියා කලේ, විවාහවී දරුවන් හැදුවේ සහ අනිකුත් සියළුම කටයුතු කරන්නෙ. මිනිසාට මෙය දීර්ඝ ලෙස දැනුනාට ඔහුගේ සැබෑ ජීවන ගමනේ එක් කුඩා කාල පරිච්චේදයකි. එම කෙටි කාලය තුල තමයි ඔහු ආබාධිත- විකෘතිතා ඇත්තෙකු ලෙස හෝ පෝසත්- සර්වසම්පූර්ණ හෝ දුප්පත්- දිලින්දෙකුව සිටින්නේ.

(තවද) "ඔබ භූමියෙහි කොපමණ වසර ගණනක් සිටියෙහුද"යි ඔහු විමසනු ඇත. එයට ඔවුන් "එක් දිනක් නැතහොත් සුළු කොටසක් රැඳී සිටින්නට ඇත්තෙමු" (මේ ගැන) ගණනය කර ඇත්තවුන්ගෙන් ඔබ විමසනු මැනව!" යයි පවසන්නාහ. (23:112,113)

මිනිසාගේ ජීවන ගමනේ අනිකුත් අවස්ථාවන්හී සහ අල්ලාහ්ගේ සන්නිධානයේ දින ගනනයේ කාලයන් දෙස බලන්න.

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය.; (7:54) 

පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය; (41:12), 

(නබියේ! එක් දිනක් ගැන ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී මෙම භූමිය වෙනස් කර වෙනත් ආකාරයක භූමියක් බවට පත් කර හරිනු ඇත. අහස්ද ඒ ආකාරයටමයි. ඔවුන් (තම තමන්ගේ ස්ථානයන්හී සිට) ඉකුත් වී (සියල්ලන්වම) යටහත් පහත් කර එකම දෙවියන් වන එම අල්ලාහ්ගේ සන්නිධානයෙහි එක්රැස්වනු ඇත. (14:48) 

අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම) අවසානයද (ඔබගේ) ගනනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත. (32:5)

(නබියේ!)"කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන් ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයෙහි) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත" යයි ඔබ සුභාරංචි දෙනු මැනව! .. තවද ඔවුන් එහි සදාකල් රැඳී සිටින්නාහ;(2:25)  

ඇත්තෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෙකු වශයෙන්ම තම දෙවියන් වෙත පැමිණෙන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරයම (ඵලවිපාක වනු ඇත). එහි ඔහු මැරෙන්නේද නැත. (සුවයෙන් යුතුව) ජීවත් වන්නේද නැත. (දඬුවම හා දහ දුක විඳිමින්ම සිටිනු ඇත). (20:74) ඔවුන් සියල්ලන්ම (නිරයට තල්ලු කරනු ලැබ) සදාකල් එහි රැඳී සිටිනු ඇත; (21:98,99)

මීට අමතරව මිනිසාගේ ආත්ම නිර්මාණය කළ අවස්ථාවේ සිට ඔහු තම මවගේ ගර්භාෂය වෙත පැමිණෙන තෙක් ගත කළ කාලයද ඉතා දීර්ඝය. 

එසේම මරනින් පසු නැවත විනිශ්චය දිනට කැඳවන තෙක් මිනී වල තුල ගතකළ යුතු ජීවිතයද ඉතා දීර්ඝ කාලීන එකකි. 

විනිශ්චයට පසු ස්වර්ගය වෙත හෝ නිරය වෙත ඇතුළු වීමට පෙර සිරාත් නම් පාලම අසලදී ගත වන කාලයද (සමහරුන්ට) ඉතාමත් දීර්ඝය.

මේ සියළුම කාල සමග සසඳා බලද්දී මෙලොව ජීවිත කාලය ඉතාම කෙටිය. ඒ කෙටි කාලය තුල අපට අපගේ පරීක්ෂනය සඳහා දෙවියන්වහන්සේ විසින් නියම කල තත්වය අපි සතුටින් පිළිගෙන පරලොව ජයග්‍රහනය කිරීම වෙනුවෙන් යුහුසුළුව කටයුතු කළ යුතුය. 

බුදු දහමෙත් පවසන්නේ සංසාරය ඉතා දිගු එකකි, එයට සාපේක්ෂව මෙලොව ජීවිතය අල්පයකි. එනිසා ලැබුණු මෙලොව කෙටි ජීවිත කාළය තුල පරලොව වෙනුවෙන් උපරිමව යහකම් කර කුසල් රැස් කරගන්නා ලෙසය.

ඉස්ලාමය තුල පෙන්වා දෙන මෙම ජීවිත අවස්ථාව එය ලැබුන පුද්ගලයා තමා ආබාධිත හෝ විකෘතිතා ඇත්තෙකු උනත්, දුප්පතෙකු උනත් ඔහුට දුකක් නැත. ඔහු පව්කාරයෙක් නොව. මෙය ඔහුගේ පෙර පව් වල ප්‍රතිඵලයක් නොවේ. එනිසා ඔහු ලද දෙයින් සතුටු වී එය ලබා දීම ගැන දෙවියන්ට ප්‍රශංසා කරමින් සිටී. ඔහු දන්නවා තමන් පැමිනියෙත් දෙවියන්ගෙන් වන අතර ආපසු යන්නෙත් දෙවියන් වෙතම බව. දෙවියන් පොරොන්දු ඉෂ්ඨ කරන්නෙක් බව ඔහු විශ්වාස කරයි. එනිසා ඔහු තම පරීක්ෂණයට හැකි අයුරින් මුහුණ දී කෙසේ හෝ තම ජීවිත සටන ජය ගැනීමට උත්සාහ කරයි. කිසි විටකත් සිය දිවි නසා ගැනීම් වැනි දේ වෙත යොමු නොවේ. ඔහු මොන තත්වයෙන් හිටියත් ඔහු පවසන්නේ අල්හම්දුලිල්ලාහ් යනුවෙනි. එනම් සියළු ප්‍රශංසා දෙවියන්ටමය.

by sjw

මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us