මිත්‍යා දෘෂ්ඨිය හඳුනා ගනිමු

මිත්‍යා දෘෂ්ඨිය යනු යථාර්ථය සම්බන්ධව වැරදි දැක්ම, වැරදි කල්පනාව සහ වැරදි අදහස් ඇතිකර ගැනීමයි.

යථාර්ථය නම් එකම විශ්වීය සත්‍යයයි. ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා, විවිධ ආගම්වල අය තමන්ගේම විශ්වාසයන් මත පදනම්ව තම අදහස් ඉදිරිපත් කරති. එනිසා මිත්‍යාවත් සාපේක්ෂ දෙයක් වී ඇත. එය ඛේදජනක තත්වයකි. එකම ස්වභාවයක් ඇති මිනිසුන්ට විවිධ ආගම් සහ විවිධ විශ්වාසයන් ඇති වී තිබෙන්නේ එනිසයි.


ලිපියෙහි අනුමාතෘකා

1) හේතු-ඵල දහම නිවැරදිව වටහා ගැනීම. 

2) කර්ම-ඵල යාන්ත්‍රණය නිවැරදිව වටහා ගැනීම. 

3). නබිවරුන්ව සහ ඔවුන් ගෙනා දිව්‍ය පණිවිඩ. 

4). මිත්‍යා දෘෂ්ඨිය සම්බන්ධව දෙවියන් පවසන දේ.

✨මෙය විවේචනයට නොව, බුද්ධිමත් විමසීමටය🙏

මහායාන බෞද්ධයන්ට අනුව ථේරවාදී බෞද්ධයන් සිටින්නේ මිත්‍යා දෘෂ්ඨියේ ලෙසත්, කිතුනුවන්ට අනුව මුස්ලිම්වරුන්ද, මුස්ලිම්වරුන්ට අනුව බෞද්ධයන්ද මිත්‍යා දෘෂ්ඨි මත සිටී. තව ආගම් හෝ විශ්වාස කිහිපයක් සැලකුවත් ඔවුන් අතරත් තත්වය එයමය. 

කුමක්ද මේ පටලැවිල්ල? 

මෙසේ සිදුවන්නෙ හේතු-ඵල දහම සහ කර්ම-ඵල යාන්ත්‍රණය පිළිබඳව පැහැදිලි අවභෝදයක් නොමැතිකමයි.

මෙම පටලැවිල්ල ලෙහා දැමීමට මේ සම්බන්ධව ප්‍රධාන ආගම් වල ඇති උගැන්වීම් කිහිපයක් මෙහි ඉදිරිපත් කරමි.

බුදුන් වහන්සේගේ සමයේ මිත්‍යා දෘෂ්ඨි අදහස් 62ක් ගැන කරුණු ඉදිරිපත් කර ඇත. ඉන් ප්‍රධාන 10ක් පහත පරිදි වේ.

1. දූන්දේ විපාක නැත. 2. මහා දානවල විපාක නැත. 3. සකසා පිලිගන්වන දානයේ විපාක නැත. 4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත. 5. මෙළොවක් නැත. 6. පරළොවක් නැත. 7. හිත දියුණු කළ, ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත. 8. මවක් නැත. 9. පියෙක් නැත. 10. ඕපපාතිකව උපදින සත්වයෝ නැත.

සටහනක්: ඉහත අංක 8 සහ 9 මවක් නැත, පියෙක් නැත ලෙස සිතීම මිත්‍යා දෘෂ්ඨික තත්වයන්ය. (එනම්, ඉපදීමට මවෙක් පියෙක් [හෝ වෙනත් කුමන හෝ හේතුවක්] නැත යැයි විශ්වාස කිරීම මිත්‍යා දෘෂ්ඨික අදහසකි). 

10. ඕපපාතිකව උපදින සත්වයෝ නැත ලෙස සිතීම මිත්‍යා දෘෂ්ඨික අදහසකි. (එනම්, [මවෙක් පියෙක් හෝ වෙනත් කුමන හෝ] හේතුවක් නැතිවත් ජීවීන් උපදී යැයි විශ්වාස නොකිරීමත් මිත්‍යා දෘෂ්ඨික තත්වයකි)

මෙහි (8, 9) සහ 10 එකිනෙකට විරුද්ධ [පරස්පර, නොගැලපෙන] අදහස් දෙකකි.


දේවධර්මයට අනුව දෙවියන් ඔහු කැමති ආකාරයට තම නිර්මාණ කරයි. දෙවියන්වහන්සේ ආකාර 4 කින් මිනිසුන්ගේ ශරීර නිර්මාණය කර ඇති බව අවසන් දිව්‍ය වදන් සහිත අල් කුරාණය තුලින් අපට දකින්නට පුළුවන. 

  1. කිසිම පුරුෂයෙකුගේ හෝ කිසිම ස්ත්‍රියකගේ සම්බන්ධයක් නොමැතිව. උදා:- ආදම් (අ.ස) 
  2. පුරුෂයෙකු පමණක් සම්බන්ධ කරගෙන. උදා:- හව්වා (අ.ස)/ ආදම්ගේ බිරිඳ
  3. කාන්තාවක් පමණක් සම්බන්ධ කරගෙන. උදා:- යේසුස් වහන්සේ (ඊසා අ.ස)
  4. පුරුෂයෙකු සහ ස්ත්‍රියකු යන දෙදෙනෙකු සම්බන්ධ කරගෙන. උදා:- ඔබ, මම වැනි අය.

එයට අනුව එහි මවෙක් නැත, පියෙක් නැත යන තත්ව පවා දැකිය හැක. එහෙත් කිසිවක් නැතිව ඕපපාතිකව බිහි වෙන බව එහි සඳහන් නොවේ. ඒවායේ බිහිවීමට හේතුව දෙවියන්ගේ බලයයි. ඕපපාතිකව ජීවීන් බිහිවීමට බලපාන පසුබිම කුමක්ද? හේතු-ඵල දහමට අනුව එවැන්නක් විය නොහැක.


කිතුනුවන්ට අනුව දෙවියන් වහන්සේ සම්බන්ධ "ත්‍රිත්වය" එනම්, යේසුස් වහන්සේ දෙවියන්මය (පියාය), ඔහු දෙවියන්ගේ පුත්‍රයාය, සහ දිව්‍ය ආත්මයය යන්න පිළි නොගෙන සිටීම ස්වර්ගය අහිමිකර ගැනීමට හේතු වේ. මෙය පැහැදිළි කළ නොහැකි ව්‍යාකූල තත්වයකි. [කුරානය තුලින් දෙවියන්ම මෙම කියමන ප්‍රතික්ෂේප කර ඇත].

මුස්ලිම්වරුන්ට අනුව සියල්ලෙහි නිර්මාතෘ එකම දෙවියෙකි. ඔහුට සහායකයන්, දරුවන්, මව්පියන්, අවශ්‍යතාවයන්, දුර්වලතාවයන්, සමානකරුවන් ආදී කිසිවක් නැත. සියල්ල පැමිනියේ ඔහු වෙතින් වන අතර සියල්ල නැවත ඔහු වෙතම යා යුතුය. ඉන් පසු ඔහුගේ අවසන් විනිශ්චයට පසු මිනිසුන් ස්වර්ගය හෝ අපාය වෙත යොමු කරනු ඇත.

හින්දුවරුන්ට අනුව දෙවියන්ට තව තවත් සහායක දෙවිවරුන් හෝ දිව්‍ය අවතාර බොහෝමයක් ඇත. 

ආගම් අදහන්නේ නැති අයට මෙලොව-පරලොව, කුසල්-අකුසල්, ස්වර්ගය-අපාය ආදිය ගැන පැහැදිළි අදහස් නැත.

මෙයට අනුව මිනිසුන් පිටතින් එකම සත්ව විශේෂයක් ලෙස පෙනුනත් ඇතුලතින් ඔවුනොවුන් අතර නොගැලපීම් බහුලය. 

මෙය කාගේ වරද නිසා සිදු වූවක්ද?

හේතු-ඵල දහම සහ කර්ම-ඵල යාන්ත්‍රණය මගින් හැර මෙම පරස්පරතාවයට විසදුමක් සොයා ගත නොහැක.

කුසල් අකුසල් ඇත, විපාක ඇත, අපායක් ඇත, ස්වර්ගය ඇත, මෙලොව ඇත, පරලොව ඇත, විශ්වය ඇත, සොබාදහම ඇත, මට සිතීමට හැකියාවක් ඇත, මට ආත්මයක් ඇත, මට ශරීරයක් ඇත, මවක් ඇත, පියෙක් ඇත, නොපෙනෙන ජීවීන් ඇත, නොපෙනෙන ලෝක ඇත, බුදුන් වහන්සේ සිටි බවට ජේසු තුමා සිටි බවට විශ්වාසයන් ඇත. මේ ආකාරයට අප මිනිසුන් වශයෙන් මේ සියල්ල විශ්වාස කරන්නන් නම්, මේවා හේතු-ඵල දහම සහ කර්ම-ඵල යාන්ත්‍රණය සමග ගලපා මිත්‍යා දෘෂ්ඨිය පිළිබඳව එකඟතාවයකට පත් වන්න උත්සහ ගනිමු.

1) හේතු-ඵල දහම නිවැරදිව වටහා ගැනීම.

යමක් හට ගැනීමට නම් එයට හේතුවක් තිබිය යුතුමයි.

.✨බුදු දහමට අනුව; ඈත ඉතිහාසයේ කොහේ හෝ තිබුනාය කියන කුමන බඹ ලොවක් හෝ දෙව් ලොවක් හෝ කුමන ආකාරයක ජීවියෙක් හෝ ආරම්භ වී නොමැතිව තිබූ අවස්ථාවක, ඒවා ආරම්භ වීමට බලපෑ හේතු හෝ හේතුව ලෙස පෙන්වීමට ඇත්තේ කුමක්ද?

✨මෙයට සාධාරණ පිළිතුරක් දිය නොහැකි නම් බෞද්ධ ඔබට මිත්‍යා දෘෂ්ඨි ඛේදවාචකයෙන් ගැලවීමට නොහැක. ඔබම ඒ තුල ගිලී ඇත. මෙයට පිළිතුරක් නොමැතිව ඔබට මිත්‍යා දෘෂ්ඨි සම්බන්ධව අර්ථකතන ඉදිරිපත් කළ නොහැක. 

✨අපායක් නැතැයි විශ්වාස කරන්නා මිත්‍යා දෘෂ්ඨිකයෙක් යැයි ඔබ පවසන්නේ කෙසේද අපාය නිර්මාණය උනේ කෙසේ දැයි සහ එහි පාලනය කෙසේ සිදු වන්නේදැයි ඔබ දන්නේ නැතිව? 

✨දන් දීමෙහි විපාක ගැන ඔබ පවසන්නේ කෙසේද එම කුසල් අකුසල් සහ කර්ම ඵලදීමේ යාන්ත්‍රණය කෙසේ සිදුවන්නේදැයි ඔබ දන්නේ නැතිව? 

✨මෙලොව සහ පරලොව ගැන ඔබ අදහස් දක්වන්නේ කෙසේද මෙලොව සහ පරලොව හටගත් ආකාරය සහ ඒවායේ කළමණාකරන ස්වභාවය දන්නෙ නැතිව? 

✨ඕපපාතික ජීවීන් ඇතැයි යන්න විශ්වාස නොකරන්නා මිත්‍යා දෘෂ්ඨිකයෙක් යැයි ඔබ පවසන්නේ කෙසේද ඔවුන්ගේ ආත්ම සහ ශරීර නිර්මාණය වන ආකාර දන්නෙ නැතිව? ඕපපාතික ජීවීන් ඇත්නම් ඔවුන්ට හේතු-ඵල දහමකුත් නෑ, කර්ම-ඵල යාන්ත්‍රණයකුත් නෑ. එසේ නම් ඔවුන්ට බලපාන ධර්මතාවය කුමක්ද? 

✨අපගේ විශ්වය (හෙවත් අපගේ සොබාදහම) තුල විශ්ව ධර්මතාවයට පිටින් කිසිවක් සිදු නොවේ. විශ්ව ධර්මතාවය යනු හිස් වචන දෙකක් නොව. එය මනා සංවිධානාත්මක වැඩ සටහනකි. එම වැඩ පිළිවෙල ගැන නොදැන ඔබ සොභාදහම යනු කුමක්දැයි හඳුනා ගන්නේ කෙසේද? 

එනිසයි මුළින්ම සඳහන් කළේ කිසිවක් නොමැති අවස්ථාවේ මේවා ආරම්භ වීමට බලපෑ හේතුව කුමක්දැයි හඳුනා ගැනීම කළ යුතු බව. 

අප කතා කරන විශ්වයන්ට අදාල සියල්ලෙහි පදනම හෙවත් අත්තිවාරම එයයි. මිනිසා සාදාගත් සියළු දහම් පවතින්නේ එම අත්තිවාරම උඩයි. කුසල්-අකුසල් සහ කර්ම-ඵල යාන්ත්‍රණය පවතින අත්තිවාරමත් එයයි. එයයි හේතු-ඵල දහමේ හේතුව. 

අප කතාකරන විශ්වයන්, ආත්මයන්, ජීවීන් සියල්ල හේතු සහිත ඵලයන්ය. ඒ සියල්ලෙහිත් පදනම හෙවත් අත්තිවාරම එයයි. එනම් 'ආරම්භයට හේතු රහිතව (සදාකල් පවතින සර්වබලධාරී) තත්වයයි'.

මේවා ඇති වීමට බලපෑ හේතු රහිත (සදාකල් පවතින සර්වබලධාරී) තත්වය ගැන පහත සටහනෙන් දක්වා ඇත.

මෙම හේතු රහිත තත්වයට අපි සර්වබලධාරී දෙවියන්වහන්සේ යැයි කියන්නෙමු. එවන් තත්වයකින් තොරව අවිද්‍යාවක් හෝ විද්‍යාවක්, සිතක්, ඒක සෛලික ජීවියෙක්, කුඩා හෝ ලොකු එක ආත්මයක්, එක පරමාණුවක් හෝ ඉලෙක්ට්‍රෝන වලාවක්, එක මූලද්‍රව්‍යයක් හෝ වෙන කුමක් හෝ ඉබේ හෝ වෙන ක්‍රමයකට හෝ හට ගැනීමට අවස්ථාවක් ඇත්නම් පහත යොමුවෙන් ඒ ගැන අපවත් දැනුවත් කරන්න.🙏 

2) කර්ම-ඵල යාන්ත්‍රණය නිවැරදිව වටහා ගැනීම.

මිත්‍යා දෘෂ්ඨියේ අතරමං වීමට බලපාන තවත් කාරණාවකි කුසල්-අකුසල්  සහ කර්ම-ඵල යාන්ත්‍රණය ගැන පැහැදිලි අවභෝධයක් නොමැති කම. ජීවත්ව සිටියදී මෙය ගැනවත් දැණුමක් නැතිව අප මිය ගිය පසු අපේ ආත්මය ඉතා විශාල (පුදුමාකාර) සංචාරයක නිරත වෙමින් අනන්තවාරයක් මැරි මැරී උපදින බවට අදහස් ඉදිරිපත් කරයි.

අපි සිතින් හෝ ගතින් කරන කුසලක් හෝ අකුසලක් නැවත එය (කර්මය ලෙස) අපටම පටිසන් දෙන තෙක් එය ගමන් කරන මාර්ගය හෙවත් කුසල් අකුසල් සහ කර්ම-ඵල යාන්ත්‍රණය කුමක්ද? මෙය නොදැන සිටින මිනිසා ගේ ආත්මය කොහොමද ඔහු මිය ගිය පසු සංසාරය ලෙසින් භවෙන් භවේ මේ ලෝකෙ හෝ බඹ ලෝකවල හෝ සැරි සරන්නෙ? එනම්, ශරීරයක් ඇති මිනිසාට වඩා ශරීරයක් නැති ආත්මය දක්ෂද? 

මේවා සිදුවන ආකාර දෙවිඳුන් අපට පෙන්වා දී ඇත. ඒ සඳහා දේවදූතවරු (මලායිකාවරු) මැදිහත්ව කටයුතු කරයි. වැඩි විස්තර පහත සබැඳි දෙකෙහි ඇත.

කුසල් යාන්ත්‍රණය ගැන දැනගැනීම සහ පහසුවෙන් කුසල් රැස් කිරීම

අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්

කුසල්-අකුසල්/ කර්ම-ඵල ආදියෙහි යාන්ත්‍රණය ගැන වෙනත් ක්‍රමවේදයක් ඇත්නම් අපට දන්වන්න

3). අනාගතවක්තෘ හෙවත් නබිවරුන්ව සහ ඔවුන් ගෙනා දිව්‍ය පණිවිඩ විශ්වාස කිරීම

ඔබට ජීවිතේ පළමු වතාවට Smart දුරකථනයක් සහ Internet සම්බන්ධතාවය ලබා දුන්නා යැයි සිතමු. Google, Facebook, WhatsApp ආදිය ගැන ඔබ කිසිවක් දන්නෙත් නැහැ කියලා හිතමු. මේවා පරිහරණය කිරීමට නම් ඔබට ඒවායේ Manual කියවීමට සිදුවේ. එසේත් නැත් නම් ඒවා ගැන මීට කලින් දැගෙන සිටින කෙනෙකුගෙන් සහය ලබා ගැනීමට සිදුවේ. එසේ නොකර ඔබ විසින්ම (Manual පවා නැතිව) ස්ව-උත්සහයෙන් මේවා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් එය කොතරම් අපහසු වේවිද? අපහසුවෙන් හෝ ඔබ ටිකක් දැන ගත්තත් ඔබට බොහෝ දේවල් මග හැරීමටද ඉඩ ඇත. සමහර විට දුරකථනය විනාශ වීමටද ඉඩ ඇත.

මිනිසා සම්බන්ධවද මෙවැන්නක් ඇත. බුදුන් වහන්සේ කල්ප ගනනක් තිස්සේ පෙරුම් පුරා අවසන් ජීවිතයෙත් ඉතා වෙහෙස වී සත්‍ය අවභෝධ කරගත් බව පොත පතේ සඳහන් වේ. නමුත්, මිනිසා සම්බන්ධව සහ විශ්වය ඇතුළු නොපෙනෙන ලෝක ගැන දැන ගෙන සිටි නබිවරු මේ ලෝකෙ කොතරම්දෝ ඉඳලා තියෙනවා. දෙවිඳුන් සෑම සමාජයකටම නබිවරුන් එවා තිබෙන බව පවසා ඇත. නබිවරු සම්බන්ධව තොරතුරු පහත සබැඳියෙහි ඇත. [සමහර විට බුදුන් වහන්සේද එවැනි උත්තමයෙක් විය හැක. නමුත් අදවන විට අප සතුව ඇති තොරතුරුවලට අනුව එසේ යැයි පිළිගැනීමට සාධක ප්‍රමාණවත් නැත].

නබිවරුන්

ඔවුන් සතුව (විශ්වය ගැන, මිනිසා ගැන, දෙවිදුන් ගැන, නොපෙනෙන ලෝක ගැන) ඒවා වලට අදාල තොරතුරු සහ Manual (හෙවත් ඒවායේ නිර්මාතෘ විසින් පහළ කළ දිව්‍ය හෙලිදරව්වන්) සතුවී තියෙනවා. Manual භාවිතා කිරීම කොතරම් පහසුද සහ කොතරම් නිරවද්‍යද? මිනිසා වෙත දෙවිඳුන් පහළ කළ අවසන් දිව්‍ය හෙළිදරව්ව හෙවත් මිනිසාගේ Manual එක (මාර්ගෝපදේශය) ශුද්ධ වූ අල් කුරාණයයි. එය පහත සබැඳියෙත් ඇත. එය ඇස් මායිමේ තියෙද්දි සත්‍ය සොයන්න 'වෙනත් අවිනිශ්චිත හෝ දුරස්ථ මාර්ගවල යන්නේ ඇයි?' ඔබට දෙවියන්ව සහ ඔහුගේ උපදෙස් 'Sure නැද්ද'? එහෙම ප්‍රශ්නයක් තිබේ නම් එය පුද්ගලික ප්‍රශ්නයකි. එනිසා ඔබේම යහපත වෙනුවෙන් දෙවියන්ගේ මාර්ගයෙන් මේ ආකාරයට හෝ ලැබී ඇති තොරතුරු ඔස්සේ යමින් ඔබ දෙවියන් ගැන නොදන්නා දේ ඉගෙන ගන්න.

කුරානය සම්බන්ධව

දෙවිඳුන් සහ ඔහුගේ නිර්මාණ

ආදම්ගේ දරුවනේ! (මගේ) දූතයින් ඔබගෙන්ම නියම වී, ඔබ වෙත පැමිණ, මගේ ආයාවන් ඇත්තෙන්ම ඔබට සමුදීරණය කර පෙන්වන විට, (ඒවාට සවන් දීමට ඔබගෙන්) කවුරුන් (අල්ලාහ්ට බිය වී පාපයන්ගෙන්) ඈත් වී පිළිසකර කර ගන්නෝද, ඔවුන්ට කිසිම බියක්ද නැත, ඔවුන් දුක් වන්නේද නැත. (7:35)

4). මිත්‍යා දෘෂ්ඨිය සම්බන්ධව දෙවියන් පවසන දේ සහ උපදෙස්

දෙවියන්වහන්සේ මිනිසාගෙන් මෙසේ අසයි

✨අහස් හිද භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද?; (34:9) ඒවා කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන්, තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද? නැතහොත් අහස්ද භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද?; (52:35,36)

පසුව දෙවියන්ම එයට දෙන පිළිතුර;

✨නැත. මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය; (52:35,36)

✨(කිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින් අහස (විශ්වය) නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමට තබා ඇත්තෙමු. (ඇත්ත වශයෙන්ම, අපි එය පුළුල් කරන්නෙමු." (51:47)

ආත්මය ගැන දෙවියන් පවසන දේ; 

✨(නබියේ!) "රූහ් (ආත්මය)" ගැන (යුදෙව්වන් වන) ඔවුන් ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ "එය අපගේ දෙවියන්ගේ නියෝගයෙන් ඇති වන්නකි. (ඒ ගැන) ඉතාමත් අල්ප ඥානයක් මිස, ඔබට දෙනු ලැබුවේ නැත. (එබැවින් එහි ගැඹුරු අදහස ඔබට දැන ගැනීමට නොහැකිය)" යැයි පවසනු මැනව! (17:85) [එයට අනුව ආත්මය ගැන මිනිසාට සියළු තොරතුරු දැනගැනීමට හැකියාවක් ද නැත].

දැනුම රහිතව මිනිසුන් දෙවියන් ගැන තර්ක කරන බව

✨(මිනිසුණේ!) "අහස්හිද, භූමියෙහිද, ඇති දැය නියත වශයෙන්ම දෙවියන් ඔබට වසඟ කර දී ඇත්තේය" යන්නද, ඔහු තම වරප්‍රසාදයන් ගුප්තවද, ප්‍රසිද්ධියේද, ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය යන්නද, ඔබ දුටුවේ නැද්ද? මේ සියල්ල මෙසේ තිබියදී මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ තර්කානුකූල සෘජු මාර්ගය හෝ ආලෝකමත් ධර්ම ග්‍රන්ථයෙහි (කුරාන්හී) සාධකයන් හෝ නොමැතිව අල්ලාහ් (දෙවියන්) ගැන (නිකරුණේ) තර්ක කරන්නාහ. (31:20)

දැනුම සම්බන්ධව මිනිසුන් කුමක් කළ යුතුද යන්න;

✨විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ මෙම දූතයා වෙත පහළ කළ ධර්මයද, මෙයට පෙර තිබූ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයන්වද, අවසාන දිනයද ප්‍රතික්ශේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය (4:136)

මිනිසාට අවශ්‍ය තරමට සම්පූර්ණ ලෙස දැනුම හා උපදෙස් ලබා දී ඇති බව;

✨මිනිසුන්ට හොඳ වැටහීමක් ලබා ගැනීම පිනිසම මෙම කුරානය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමඟින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත් ද? (54:17)

✨(පින් පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැණුම් දුන්නෙමු (90:10) නියත වශයෙන්ම සෘජු මාර්ගය පෙන්වීම අපගේ යුතුකම වන්නේය, (නියත වශයෙන්ම මෙලොවද පරලොවද අපගේමය. (92:12.13)

✨නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. එබැවින් කවුරුන් (මෙය) අනුගමනය කර කටයුතු කරන්නේද, ඔහුටම එය හොඳකි. කවුරුන් එයින් මාර්ගය වැරද යන්නේද, එය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. (නබියේ!) ඔබ ඔවුන්ව (සෘජු මාර්ගයෙහි යන ලෙස මෙන් බල කර), බේරා ගන්නෙකු නොව. (39:41)

✨(නබියේ!) ඔබ මෙසේ පවසනු; "(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී" කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය, අකැමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය". (නමුත් මෙම ප්‍රතික්ෂේප කරන) අපරාධකාරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු; (18:29)

✨(නබියේ!) "කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයන්හී) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත" යැයි ඔබ සුභාරංචි දෙනු මැනව (2:25)

by sjw

මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න


ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us