මුස්ලිම් වරයා සතු සමාජ වගකීම්....

11/01/2018

විශ්වය මවා පාලනය කරන්නාවූ සර්වබලධාරි දෙවිඳාණන් විසින් ඉස්ලාම් නැමැති ධර්මය පහළ කරනු ලබන අතර එය විශ්වාස කර අනුගමනය කරන්නා වූ අය මුස්ලිම්වරුන් ලෙස හඳුන්වනු ලබයි. 

මුස්ලිම්වරුන්ගේ ඊමානය ගොඩනැගෙන්නේ මැවුම්කාර වූ සර්ව බලධාරී එකම දෙවිඳාණන් විශ්වාස කිරීම හා ඉස්ලාම් නැමැති උතුම් ධර්මය ලොවට දායාද කළ මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වස් වල්ලම්තුමාණන් කළා වූ කුදු මහත් කාර්යයන් අධ්‍යයනය කොට ඒ අනුව ස්ලාම් මාර්ගයේ ක්‍රියා කිරීම මුස්ලිම්වරයාගේ මූලික වගකීමයි.


මුස්ලිම්වරයාට අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන්නාවූ නැමදුමට අමතරව තම සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් රැසක් ද පැවරෙනු ලබයි. එම වගකීම නිසියාකාරව ඉටු කිරීම මුස්ලිම්වරයාගේ නැමදුම තරම්ම ඉතා වැදගත්ය. එහෙත් මුස්ලිම්වරුන් ලෙස ජීවත් වන්නාවූ නූතන සමාජය මෙම වගකීම් පිලිබදව එතරම් දුරට සැලකීමක් දක්වන බවක් පෙනෙන්නට නැත. පස්වේල සලාතයත්, ගොඩනැගිලි ඉදිකිරීමත්, නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, කණ්ඩායම් වශයෙන් බෙදී තමතමන්ගේ කණ්ඩායමෙහි අරමුණු සාක්ෂාත් කිරීම පිණිස වැඩ කිරීම විනා සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු මෙහෙවර ඉටුවනවාද යන්න සැක සහිතය.

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ජීවමාන අවධිය අධ්‍යයනය කර බලන්නෙකුට ඉස්ලාමයෙහි වර්ධනයට හේතු වූයේ ආරම්භයේදී ඉස්ලාම් දහම වැළඳගත් අයවලුන්ගේ ගති පැවතුම්ය. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ ඉතා චිත්තාකර්ශනීය කතාව හා ගති පැවැතුම් හා විශ්වාසවන්ත භාවය හේතුකොටගෙන බොහෝ දෙනෙක් ඉස්ලාම් ධර්මය කෙරෙහි ආකර්ශණය වුහ.

මුස්ලිම්වරුන්ගේ ගති පැවතුම්, පවුල් ජීවිතයෙහි ඇත්තා වූ නිරවද්‍යතාව ය, ව්‍යාපාර කටයුතුවලදී දැක්වූ අවංකභාවය, හා සමගිය සමාජය වෙනුවෙන් දරන්නා වූ කැපවීම යනාදී ගුණාංග දැකීමෙන් බොහෝ රටවලට ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත විය.


"(විශ්වාසවන්ත යෙනි!),  නීතිගරුක වන ලෙසද, හොඳ ක්‍රියාවන් කරන ලෙස ද, ඥාතීන්ට (වස්තුව) දී උදව් කරන ලෙසද ඇත්තෙන්ම Allah ඔබට නියම කරන්නේ ය. අවමානයට ලක් වන ක්‍රියාවන්. පාපයන්, අපරාධ ආදී දෙයින්ඔබව ඔහු තහනම් කරන්නේ ය. මේ දේය ඔබ මතක තබා ගත යුතු යයි Allah ඔබට හොඳ අවවාද දෙන්නේ ය"(Quran 16:19)

...... ඉස්ලාම් ධර්මය විශ්වාස කරන්නා වූ මුස්ලිම් වරයාට ෂරියා නීතිය ඔස්සේ අල්ලාහ් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳව ජීවන සැලැස්මක් වෙන්වන්නේ සියයට පහක් දහයක් තරම් සුළු ප්‍රමාණයකි. අනෙක් 90% හෝ 95/ම ක්‍රියාත්මක කළ යුතු වන්නේ මුස්ලිම් වරයා විසින් සමාජයට කළ යුතු වගකීම් ලෙස ය. සැමියාගෙන් භාර්යාවට, භාර්යාවගෙන් සැමියාට, දරුවන් විසින් දෙමවුපියන්ට, දෙමව්පියන් විසින් දරුවන්ට, තමන්ගේ අසල්වාසීන්ට, තමන් ජීවත්වන රටෙහි සමස්ත ජනතාවට ආදී වශයෙන් මුස්ලිම් වරයාට වගකීම් පැවරෙන්නේ ය. එම නිසා සමාජ වගකීම් පිළිබදව මුස්ලිම්වරයා දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

තමන් කොතරම් දුරට පින් දහම් කළත් අනුන් විවේචනය කරමින්, හිංසා පීඩා කරමින්, අනුන්ගෙ ඕපදූප සොයමින්, කුමන ආකාරයකින් හෝ පීඩනයට ලක් කරයි ද හෙතෙම අල්ලාහ්ගේ උදහස උරුම කරගන්නේ ය. මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරන්නට යෙදුන වදනක සඳහන් වන්නේ එක් ස්ත්‍රියක් බළලෙකුට ආහාර නොදී හිරකර තබා මරණයට පත් කිරීම හේතුවෙන් ඇයට නිරයට ඇතුළුවීමට සිදුවන බවයි. "ඔබ එම බළලාට කෑමට හෝ බීමට කිසිවක් නො දුන් අතර නිදැල්ලේ යන සතුන් අල්ලා ගෙන කෑමට නොහැකි වන පරිදි හිරකළේ යයි" Allah පැවසූ බව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් දැනුම් දී ඇත (බුහාරි3:553)
මේ අනුව මිනිසුන්ට පමණක් නොව අප අවට පරිසරයේ ජීවත් වන සතා සිවුපාවාට ද කරුණාව දයාව දැක්වීම හා ආහාර පාන සැපයීම මුස්ලිම්වරයාගේ වගකීමක් බව පැහැදිලි වේ.
"තම හිංසනයෙන් තම අසල්වැසියා ආරක්ෂා නොවේ නම් ඔහු විශ්වාසවන්තයෙක් නොවේ."(තිර්ම්දි4994) 

තවදුරටත්,.. "අල්ලාහ්ව සහ අවසාන දිනය විශ්වාස කරන්නන් තම අසල්වැසියා වෙනුවෙන් නිර්ලෝභී විය යුතුය."(අල්_මුඅත්තා49:22) 

තම අසල්වැසියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට මග පෙන්වන ඉස්ලාම් ධර්මය එම අසල්වැසියා තම තමන්ගේ ඥාතීන් වන්නේ නම් මීටත් වඩා යුතුකම් ඉටුකල යුතුය. ඥාතීන් සමග සමගියෙන් හා සහයෝගයෙන් යුතුව කටයුතු නොකරන කිසිදු මුස්ලිම් වරයෙක් ස්වර්ගයට ඇතුළු නොවන බව මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් දන්වා තිබේ. (මුස්ලිම් 6199) 

එමෙන්ම ඥාතීන් හා අසල්වැසියන් සමග එකට ජීවත් වන මුස්ලිම් වරයා සමග සර්ව බලධාරී දෙවිදාණන් සිටින අතර, අසල් වැසියාගෙන් සහ ඥාතීන්ගෙන් ඈත් ව සිටින්නා ගෙන් අල්ලාහ් ද ඈත්වන බව තවදුරටත් සඳහන් වේ. (බුහාරි 8:18)

ඉස්ලාම් ධර්මය ඉතා පැහැදිලිවම උගන්වනු ලබන්නේ මුස්ලිම් වරයාට නිරන්තරයෙන්ම පැවරෙන සමාජ වගකීම් නිසියාකාරව ඉටු කිරීම නැමදුම තරම්ම වැදගත් වන බවයි. 
ඉස්ලාම් ධර්මය ගොඩනැගී පවතින්නේ යුතුකම් සමුදායක් මත ය. එය තේරුම් ගැනීම මුස්ලිම්වරයකුගේ වගකීමකි. නූතන මුස්ලිම් සමාජය මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනෙන්නට නැත. යම් දෙයක් කරන්නේ නම් බොහෝවිට එහි යටි අදහස එකිනෙකා සමාජයෙහි කැපී පෙනෙන්නට දරන උත්සාහයක් බව පැහැදිලිය.
සමාජයට ඉටුවිය යුතු යුතුකම් පැහැර හරිමින් සියලු දේ රැස් කරගනිමින් බොහෝ දෙනකු කරනු ලබන්නේ තමන්ගේ තත්වය ප්‍රදර්ශනය කිරීමකි. ඒ හැර වෙනත් යමක් නූතන සමාජය තළ දක්නට නොමැත. උදව් උපකාර කිරීම පසෙකලා සමහරවිට බොහෝ දෙනකුට වචනයකින් හෝ සැනසීම ගෙනදෙන පිණිස කතා කිරීමක් වත් නොමැත. මුස්ලිම් සමාජයේ ම ජීවත්වන්නාවූ බොහෝ දෙනෙක් අන්ත අසරණය. කුසගින්න, හිසට සෙවණක් නොමැති කම, නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති කම, රෝග පීඩා ව්‍යසනයන්ගෙන් දුක් විදින අපගේම අසල්වාසීන් අපට නොපෙනේ. නමුත් ප්‍රදර්ශනයට ගොඩනැගූ කෝටිප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කොට ගොඩනැගූ ගොඩනැගිලි අපමණය.
මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ගොඩනගනු ලැබූ ඉස්ලාමීය දැක්ම පිළිබඳව මුස්ලිම්වරුන්ගේ අවධානය යොමු වන්නේ නැත. අප ජීවත්වන සමාජයේ සුහසක් ප්‍රශ්න හමුවේ සැබෑ මුස්ලිම්වරයාට ඇත්ත වශයෙන්ම සැනසීමක් තිබේද?
බොහෝ දෙනෙකු ආගමික ඉගැන්වීම් පිළිබඳව පමණක් මහ උජාරුවට කතා කළ ද පැවැත්මෙහි ඇත්ත වශයෙන්ම පිළිවෙළක් නොමැත. තම තමන්ගේ අසල්වාසීන්. තමන් ජීවත්වන පරිසරය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන කිසිවෙකුත් මුස්ලිම්වරයෙකු වන්නේ නැත . ඉස්ලාම් ධර්මයෙහි උගන්වනු ලබන අති විශිෂ්ට ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නම් සමස්ත ලෝකවාසීන්ටම ඉස්ලාම් ධර්මය සුඛ නම්‍ය දහම් අත්වනු ඇත. මේ පිළිබඳව කල්පනා කර බලා කටයුතු කිරීමට සුදුසු කාලය මෙයයි 

(I:Se)