
පිදුම, ප්‍රවේශය සහ හැඳින්වීම
بسم الله الرحمن الرحيم
විශේෂ ස්තූතිය සහ පිළිගැන්වීම
නව දැනුම සෙවීමට මාර්ගය විවෘත කර දෙමින් සහ අතරමග වැටීමට ඉඩ නොදී සැමවිටම ආදර්ශයක් මෙන්ම ශක්තියක් වෙමින් මා දිරිමත් කළ රනා අද්‍රා මහත්මියට මගේ විශේෂ කෘතඥතාව පුදමි.
මෙවැනි කටයුත්තක් කිරීමට මා තුලින් මාවම පෙළඹවූ සහ දිරිගැන්වීමේ බීජ වූ මගේ ආදරණීය බිරිඳට සහ මගේ පුතාට මෙය සෙනෙහසින් පිළිගන්වමි.
සොබාදහම සහ නිර්මාතෘ හඳුනාගැනීමටත් මෙහි අන්තර්ගත කරුණු ඉගෙන ගැනීමටත් නන් අයුරින් මට ප්‍රයෝජනවත් වූ සහ සහාය දුන් සැමට මෙය උපහාරයක් වේවා!
සිංහල කියවීමට හැකි සෑම දෙනාටම මෙය ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වේවා!
ٱلْحَمْدُ لِلَّٰهِ رَبِّ ٱلْعَالَمِينَ
_________
ප්‍රවේශය
මෙය හුදෙක් රසවින්දනය, ත්‍රාසය හෝ කුතුහලය ඇති කිරීමෙන් පාඨක උනන්දුව දිනා ගැනීම සඳහා ලියන ලද තවත් එක් ග්‍රන්ථයක් නොවේ. මෙහි අන්තර්ගතය ඔබේ කැමැත්තට වඩා ඔබේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉදිරිපත් කර ඇත. පාඨකයාගේ පහසුව සඳහා මෙම පොත කෙටි කිරීමට හැකි වුවද, එසේ කිරීමට මම ලෝබ උනෙමි. මෙම පොත තුලින් බොහෝ පාඨකයින්ට නුහුරු නුපුරුදු විෂයයන් සහ මාතෘකා රාශියක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අතර, ඕනෑම පිටුවක් අහඹු ලෙස කියවීමෙන් වුවද යම් දැනුමක්, ප්‍රයෝජනයක් ලබා ගත හැකිය.
ඔබේ සුපුරුදු සීමාවන් ඉක්මවා යන මාතෘකාද මෙහිදී සාකච්ඡා කෙරේ. ඔබේ උසස් මනස ප්‍රතික්ෂේප කරන කරුණුද ඔබට හමු විය හැකිය. ඔබේම විනිශ්චයට අභියෝග කරන තත්ත්වද මෙතුලින් ඔබ දකීවි. ඇත්ත වශයෙන්ම, මෙහි එවැනි බොහෝ දේ ඇතුළත් ය. නමුත් සාක්ෂි සහිතව කරුනු ඉදිරිපත් කර ඇති බැවින්, ඒවා ප්‍රවේශමෙන් කියවා ඒවායේ සාරය උකහා ගන්න. නිසැකවම ජීවිතයේදී ඔබට මේ දක්වා මග හැරුණු බොහෝ දේ මෙහි තිබෙන අතර ඒවා ඔබේ දැනුමට, මෙලොව ජීවිතයට සහ මරණින් මතු ජීවිතයට ඉතා වැදගත් වනු ඇත.
තවද, මෙය දිව්‍යමය වචන රැසක එකතුවක් සහිත වන අතර ඔබේ දෛනික ජීවිතයේදී නොදැනිවම ඔබව ගසාගෙන යන මායාවේ රළ පහරින් ආරක්ෂා වීමට උපකාරී වන අත්පොතක් ලෙසද මෙය භාවිතා කල හැක.
හැඳින්වීම
අප විවිධ මට්ටම් වලින් ජීවිතය බුක්ති විඳින්නෙමු. එහෙත් සෑම මිනිසෙකුටම මරණය අත් විඳින්නට සිදුවේ. අපගේ ශරීරය පස් බවට පත්වී නැවත එය සොබාදහමටම එකතු වේ. සමහර විට එතන ගසක් පැලවීමට හෝ දූවිලි වීමටද ඉඩ ඇත. එහෙත් අපේ ආත්මයට කුමක් සිදුවේද? මෙයට නිසි පිළිතුර දැන ගැනීමට නම් අප කුමන මට්ටමක සිටියත්, කුමණ දහමක් ඇදහූවත් සොබාදහම යනු කුමක්දැයි හරියටම දැන ගත යුතුය. එයට හේතුව නම්, ශරීරය පමණක් නොව, අපගේ ආත්මය නැවත පිටවයන්නේද සොබාදහමටම වීමය.
බෞද්ධ පරිසරයක හැදී වැඩුණු මම රැකියාවක් සඳහා විදෙස්ගත වූ පසු එහිදී මවිසින් සිදුකල විවිධ ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයේදී මට ඉතා වටිනා කාරණාවක් ගැන දැනගන්නට ලැබුණි. එනම්, සොබාදහමට නිර්මාතෘවරයෙක් සිටී. එසේනම් ඒ කවුරුන්ද? ඔහු සහ අප අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? ඔහුගෙන් මිදී අපට පැවත්මත් ඇතිකර ගත හැකිද?
මෙය කියවීම ආරම්භ කරන ඔබට සොබාදහම සහ එහි නිර්මාතෘ පිළිබඳව සෑහීමකට පත්විය හැකි තරමේ සහ ඒ ගැන විශ්වාසයෙන් යුතුව තව කෙනෙකුට පහදා දිය හැකි තත්ත්වයක් තිබේද? ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට ඒ ගැන පැහැදිළි අදහසක් සහ හැකියාවක් නැතැයි මා විශ්වාස කරමි.
මේ කාරණය හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු, මවිසින් මෙම පොත දැඩි විශ්වාසයකින් හා අභියෝගාත්මකව සකස් කර ඇත්තෙමි. මෙහි අඩංගු කරුණු සාක්ෂි සහිතව අසත්‍ය කළ නොහැකි බව මට විශ්වාසයි යන්න මම ඔබට දෙන අභියෝගයයි. එම විශ්වාසය සමගම, මෙම පොතේ විශේෂ පණිවිඩයක් ද අඩංගු වේ. එය තම ආත්මය හා එය තුල පවතින තමාගේ අනන්තවූ අනාගත ඉරණම කෙරෙහි සෘජුව බලපාන්නකි. එමනිසා, ඔබේ පාට කණ්නාඩි ගලවා මෙම පොත සිහිකල්පනාවෙන් හා මධ්‍යස්ථභාවයෙන් කියවා එහි සත්‍යය තේරුම් ගන්නා ලෙස මම ඔබට ආරාධනා කරමි.
මෙම කාරණයෙහි දී මම මහත් අභියෝගයකට මුහුණ දෙන්නෙමි. එනම්, කෙනෙකුගේ මනසෙහි කලක සිට පැලපදියම්වූ විශ්වාස සහ ඇදහීම් සහිත මහා මන්දිරයේ අගුළු දමා ඇති දොරටුවට තට්ටු කර මෙවැනි මාතෘකා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමේදී මුහුණදීමට සිදුවන අසීරු තත්ත්වයයි. එය කෙටියෙන්ම පවසනවා නම් බොහෝ අය මෙවැනි කාරණා අසන්නටවත් කැමති නැත. බොහෝ අය කැමති වල්-පල් වලට සවන් දීමටය. නමුත් මෙය පැවසිය යුතුම තැනකට පැමිණ ඇත. මගේ යහපතට නොව, අසන්නාගේ යහපත සඳහා වුවද මෙහි ඇති පණිවිඩය ඉදිරිපත් කිරීමට මා මෙතරම් වෙහෙසක් දරන්නේ මන්දැයි මුළින්ම කිව යුතුය. එය නම්, "මා වැනිම තව කෙනෙකු ගේ ඉරණම කෙරෙහි ඇති වන බිය, මානුෂිකත්වය, ආදරය, කරුණාව සහ මේ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ මට ඇති වගකීම් සහිත භාවය යි".
බොහෝ විට අප සමහරුන්ට අඩු-වැඩි වශයෙන් ආදරය කරන්නන් සහ තම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් අතිශයෙන් කැප වන්නන් ලෙසද සිටී. මෙහි උච්චතම අවස්ථාව තම පව්ල වටා බැඳී පවතී. ඔවුනොවුන්ගේ කෑම බීම, අධ්‍යාපනය, විවාහය, දුක සතුට ආදී බොහෝ දේ කෙරෙහි එකිනෙකා වද වේ. සොයා බලයි, උදව් කරයි, උපදෙස් දෙයි. එවන් සමීපතයෙක් මිය ගිය පසු පවා ඔහුට පිං පිණිස දාන මාන කරයි. නමුත් ඇත්තටම නම් ඔවුනොවුන්ගේ මෙලොව ජීවිතයේ සැබෑ අරමුණ වෙනුවෙන් සහ මරණින් මතු ජීවිතය ගැන වැඩි අවධානයක් නොකරයි. බොහෝ දෙනෙකුට මේ කාරණා දෙක ගැන යම් කිසි අදහසක් පවා ඇත්තේ තම වැඩිහිටියන් සහ තම ආගම දහමින් පෙන්වා දුන් දේ හරහා ය. එහෙත් ඒවා හරිද වැරදි දැයි සොයා බලන්න උත්සහයක් නොගනියි. තමන්ට, තමන්ගේ මවට, පියාට, දරුවන්ට, නෑදෑයන්ට, අසල්වාසියන්ට, මිතුරන්ට මරණින් මතු සිදුවන්නේ කුමක්දැයි සොයා බලා කල් තියා කටයුතු කරන අය සිටින්නේ කීයෙන් කීදෙනාද? ලෝක ස්වභාවයට අපිත් අවනත වන්නා ලෙසට පුරුද්දට මෙන් අප අතරින් කෙනෙක් මිය ගිය පසු ඔහුට හෝ ඇයට "සුභ ගමන්!", "නිවන් සැප ලැබේවා!" හෝ "Rest In Peace!" යැයි පවසා තම දුක තුනී කරගනු වස් යම් කිසි චාරිත්‍රානුකූල කටයුතු කිහිපයක් ද කර 'මෙලොව සහ එලෙසින් අප අතහැර යන අයට හීනියට සමුදී නිහඬ වෙයි'. ඔවුන් සහ ඔවුන් සමග මෙලොවදී ගතකළ යම් යම් මතකයන් වලට පමණක් සීමා වේ.
එහෙත්, ජීවත් වන අපට වෙනස් වෙනස් සත්‍යයන් තිබුණත්, මිය යන සියල්ලන්ම ස්වභාවධර්මයෙන් උරුම වූ එකම සත්‍යයකට මුහුණ දෙති. එසේ නම් ඒ එකම සත්‍යය කුමක්ද? අතීතයේදී තමන් පණ සේ ආදරය කළ අය මිය ගොස් මේ වන විට මුහුණ දෙනවා ඇත්තේ ඔවුන් මෙලොව සිටියදී පිළිගත් සත්‍යයටද, නැතිනම් ඔවුන් මෙලොවදී ප්‍රතික්ෂේප කළ සත්‍යයකටද? ඔවුන් මරණින් පසු දුකට උරුමකම් කීවාද සැපතට උරුමකම් කීවාද? ඔවුන්ට පිටුපසින් යන අපේ තත්ත්වයත් එයම නොවේද? ඒ අනුව බලන කළ අප ඉදිරියේ තිබෙන්නේ අවිනිශ්චිත ගමනක්ද නොවෙද?
මගේ ඉදිරිපත් කිරීම ඒ සඳහා ඉලක්ක කර ගෙන ඇත. එය පැහැදිලිව තේරුම් ගැනීමට සහ මෙලෙස තවකෙනෙකුට පැහැදිළිව පහදා දීමට මට මාර්ගය පෑදුනේ විවිධ ආගම් පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක් කිරීමට අවස්ථාව ලැබීමෙනි. එහිදී, සොබාදහම සහ එහි නිර්මාතෘ පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණු මට හමු විය. ආගම යනු කුමක්දැයි පැහැදිලි විය. ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නේ කෙසේදැයි මම තේරුම් ගතිමි. මරණින් මතු ජීවිතයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි විය. මා ආභාෂය ලැබූ පරිසරය හරහා මා කලින් දැන සිටි දේවල් නිවැරදි නොවන බව මට වැටහුණි. එබැවින්, මට හමුවූ 'සාධක සහිතව සත්‍ය ලෙස පිළිගත හැකි තොරතුරු' ඔබ වෙත ඉදිරිපත් කිරීම අනිවාර්‍යය සහ බැරෑරුම් වගකීමක් බවට පත්ව ඇත. එය ඉදිරිපත් නොකිරීම ඉහත සඳහන් කළ ආදරයේ දුර්වලතාවයක් සහ වගකීම පැහැර හැරීමක් ලෙස මට හැඟේ. එබැවින්, මම මගේ යුතුකම ඉටු කරමි. මෙය මෙතරම්ම පවසා තිබියදී මේ ගැන ඉදිරියටත් කියවීම ඔබේ වගකීමකි. මෙය වැරදි යැයි ඔබට හැඟෙන්නේ නම් නිවැරදි මග මට පෙන්වා දෙන්න. එකම සත්‍යයක් වෙත අප සියල්ල යා යුතුව ඇත.
එකම සත්‍යයක් ගැන විවිධ සාශ්තෘවරුන් විවිධ ආකාරවලින් කරුණු පෙන්වා දී තිබේ. මේ එවන් කරුණු දෙකකි
1). වසර 2550 කට පමණ පෙර, බුදුන් වහන්සේ විසින් මිනිසෙකුට සිදුවිය හැකි ලොකුම වැරැද්ද පිළිබඳ (සත්‍යයක්) මෙලෙස දේශනා කර ඇත:
"මහණෙනි, මිථ්‍යා දෘෂ්ඨිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ඨිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ."(ත්‍රිපිටකය)
[එය මෙසේ විග්‍රහ කර ඇත; ආනන්තරීය කර්ම කළවුන් කල්ප අවසානයේ දී නරකයෙන් මිදෙන නමුදු නියත මිත්‍යා දෘෂ්ඨිය ගත්තවුන් ලෝකය විනාශය සිදුවන අවස්ථාවේදී වෙනත් ලෝකයක (නරකයක) ඉපිද දුක් විපාක විඳීමට සිදු වේ. එමෙන්ම එසේ සිදුවන විපාකවල අවසානය පිළිබඳ නිශ්චිතව කිව නො හැකි ය]. [පිටුව 725 බලන්න]
2). වසර 2000 කට පමණ පෙර යේසුස් වහන්සේ එවක සිටි ජනතාවට (එක් සත්‍යයක් ගැන) මෙසේ පවසා ඇත.
"මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. (බයිබලය-යොහන් 14:6).
ප්‍රධාන ඉගැන්වීම් දෙකකින් උපුටා ගත් ඉහත කරුණු දෙක අද බෞද්ධයෙකු හෝ කිතුනුවෙකු නොවන මවිසින්ද පිළිගනිමින්, මගේ ඉස්ලාමීය විශ්ලේෂණය පහත පරිදි දිග හරිමි. එය අවසන් වන්නේ කෙසේදැයි බැලීමට ඉවසිලිවන්තව පොත කියවන්න. [පිටුව 550 බලන්න]
පහත සඳහන් වැකි දෙස ඔබේ අවධානය යොමු කරන්න.
මෙම වාක්‍යයන් උපුටා ගන්නා ලද්දේ වසර 1400 කට පමණ පෙර පහළ වූ ශුද්ධ වූ කුරානයෙන් ය. පළමුව, කුරානය ගැන යමක් පැවසිය යුතුය. ආරම්භයේ සිට අද දක්වා කිසිදු වෙනසක් සිදු නොවූ සහ වෙනස් කළ නොහැකි, 'අද ලෝකයේ ඇති එකම ආගමික ග්‍රන්ථය' එයයි. එහි සර්වබලධාරී දෙවියන්ගේ වචන පමණක් අඩංගු බව නිසැකවම පැවසිය හැකිය. එබැවින්, ඒ මත පදනම්ව තොරතුරු ඉදිරිපත් කිරීමට මම අදහස් කළෙමි. එය නබි මොහම්මද්(ﷺ) තුමන් වෙත අරාබි භාෂාවෙන් හෙළිදරව් කර ඇත. මේ එහි සිංහල පරිවර්තන වාක්‍ය කිහිපයකි.
(නබියේ!) අහස් හිද භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද?; (Quran 34:9) ඒවා කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන්, තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද? නැතහොත් අහස්ද භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද? නැත. මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය; (Quran 52:35,36)
(නබියේ!) (මීට මෙර අපි දූතයින් බොහෝමයක් දෙනාව යැවූ) මේ අන්දමටම ඔබවද අපි (අපගේ දූතයා වශයෙන්) එක් සමූහයක් වෙත යැව්වෙමු. මොවුන්ගෙන් පෙරද (මොවුන්ගෙන්) විවිධ සමූහයන් ඉකුත්ව ගොස් ඇත්තාහ. (දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් වෙත දූතයෙකු නොපැමිණියේය). එබැවින් අපි ඔබට වහී මගින් දැනුම් දෙන දැය මොවුන්ට ඔබ සමුදීරණය කර පෙන්වා දෙනු; (Quran 13:30)
(නබියේ!) ඔබ (මිනිසුන්ට) ප්‍රඥාවෙන්ද, අලංකාරවත් හොඳ ඔවදන් මගින්ද ඔබගේ දෙවියන්ගේ මාර්ගය දෙසට ආරාධනා කරණු. තවද ඔවුන් සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) ඔබ (ගෞරවණීය හා) අලංකාරවත් අන්දමින් තර්ක කරනු මැනව!; (Quran 16:125)
(අපගේ) දූතයාණෙනී! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකලහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කල කෙනෙකු බවට පත්වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටවත් බිය නොවනු). මිනිසුන්ගේ (නපුරෙන්) දෙවියන් ඔබව (ආරක්ෂාකර) බේරා ගනු ඇත. (Quran 5:67)
(නබියේ!) ඔබ කැමති අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට නියත වශයෙන්ම ඔබට නොහැකිය; (Quran 28:56) "(නබියේ!) මෙසේ පවසන්න! මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය නුඹලා හමුවට පැමිණ ඇත. (එමගින්) කවරෙක් යහමග ලබයිද, ඔහු තමාටම යහපතක් කරගනියි. කවරෙක් මංමුලාවෙහි ගමන්කරයිද, ඔහු තමාටම එරෙහිව නොමගෙහි යන්නෙකි. මා නුඹලාට භාරකාරයෙක් නොවෙමි" (Quran 10:108). (නබියේ!)"ඔබගේ යුතුකම පණිවිඩය ගෙන ඒම පමණි; තවද ගණන් බැලීම අප සතුය" (Quran 13:40)
විශ්වාසවන්තයිනී! ඔබ, ඔබවද, ඔබගේ පවුලේ උදවියද මිනිසුන්ද, ගල්ද ඉන්ධන බවට පත් කළ හැකි නිරා ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි දැඩි හැකියාවන්ගෙන් පිරි ශක්ති සම්පන්නයන් වන මලායිකාවරුන්ව පත් කරනු ලැබ ඇත්තේය. ﷲ (දෙවියන්) ඔවුන්ට නියෝග කර ඇති දැයෙන් (පොඩියක් හෝ) වෙනසක් නොකරනු ලබන්නාහ. ඔවුන්ට (දඬුවම් කරන මෙන්) තමන්ට දෙනු ලැබූ නියෝගයන්ම ඉටු කරමින් සිටින්නාහ. (Quran 66:6)
මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අතහැර දමා අපගේ වහලුන්ව (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකිය යයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම පිළියෙල කර ඇත්තෙමු. (Quran 18:102)
ඔවුන් (කවුරුන්දයත්) මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ. (Quran 18:104)
මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින් පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු (Quran 18:105) ඔවුන් මගේ ආයාවන්ද, මගේ දූතයන්වද, ප්‍රතික්ෂේප කර, සමච්චලයට ලක් කළ හේතුවෙන් නිරයම ඔවුන්ට ඵලවිකාක වන්නේය. (Quran 18:106)
කාලය මත සත්තකින්ම, මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද, පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත) (Quran 103:1-3)
(එබැවින් මනුෂ්‍යයිනේ!) ඔබ ඔබගේ දෙවියන්ගෙන් සමාව දෙසටද, ස්වර්ගය දෙසටද ඉක්මන් කර යනු. එහි විස්තීරණය අහස් හා භූමියෙහි විස්තීරණය මෙන්ම ඇත්තේය. එය ﷲ (දෙවියන්)වද, ඔහුගේ දූතයින්වද විශ්වාස තැබුවන් වෙනුවෙන්ම පිළියෙල කරණු ලැබ ඇත්තේය. එය දෙවියන් (ﷲ) ගේ වරප්‍රසාදයකි. එය ඔහු කැමති (හොඳ) අයටම ලබා දී ඇත්තේය. දෙවියන් (ﷲ) ඉමහත් වූ දයාබරවන්තයෙකි. (Quran 57:21).
දෙවියන්ගේ අවසන් නබිවරයා වන මුහම්මද් (ﷺ) තුමා තම නබිත්වයේ 23 වන (හෙවත් අවසන්) වසරේ තමාගේ අවසාන සමුගැනීමේ දේශනාවේදී, මෙසේ පැවසීය,
'පැමිණ සිටින අය නොපැමිණෙන අයට ප්‍රකාශ කරත්වා!'. (මගේ ඉගැන්වීම්) තනි වාක්‍යයක් වුවද ජනතාවට ප්‍රකාශ කරන්න'. (Sahih al-Bukhari 3461/ 60, 128)
මෙවැනි බරපතල සහ නොසැලකිලිමත් විය නොහැකි තත්වයක් හමුවේ විශ්වය/න් සහිත සොබාදහමේ මැවුම්කරු සහ හිමිකරු වන සර්වබල්ධාරී (ﷲ) දෙවියන්වහන්සේ විසින් අවසන් දේවදූත මොහම්මද්(ﷺ) තුමාණන් වෙත ලබා දුන් අවසන් දිව්‍ය එළිදරව්ව සහිත මාර්ගෝපදේශය උපයෝගී කරගනිමින් බුදු වදනක සඳහන් ආකාරයට මිනිසෙකුට විය හැකි ලොකුම වරද වන මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී, යෙසුස් වහන්සේ පැවසූ ආකාරයට සත්‍ය පියානන් වෙත යන මාර්ගයත් නිවැරදිව හඳුනා ගැනීමට කරුණු මෙලෙස ඉදිරිපත් කරන්නෙමි.
මෙහි සඳහන් වන දෙවියන්ගේ පණිවිඩය තුල ඇති එකම වැකියක්වත් සාධක සහිතව කිසිවෙකුටත් බොරු කළ නොහැකිය යන අභියෝගයම මෙය ඉදිරියට කියවීමට ඔබව දිරිමත් කරාවි යැයි මම විශ්වාස කරමි.
මෙය බොරු කළ නොහැකි නම් මෙයට වඩා තවත් සත්‍යයක් තිබිය හැකිද? සොබාදහම, විශ්ව ශක්තිය, පරම සත්‍යය ආදී සියල්ල මෙතුලින් ඔබට හමුවේවි. අප අවට ඇති සියළුම දහම් පිළිබඳවත්, සාශ්තෘවරුන් පිළිබඳවත් පැහැදිළිතාවයක් ඇති වේවි. තමා ඇතුලුව සොබාදහමත්, එහි නිර්මාතෘවත් නිවැරදිව හඳුනා ගත හැකි වනු ඇත. එතුලින් ඔබ යායුතු නිවැරදි ගමන්මග හඳුනා ගනු ඇත. අප සියල්ල ගමන් කරමින් සිටින්නේ එම එකම සත්‍යය වෙතය. මෙය කියවා එය හඳුනා ගන්න.