කාලය සහ ජීවිතය.......

11/01/2018

බිස්මිල්ලහිර් රහ්මානිර් රහීම්........

කාලය මත සත්තකින්ම.

මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය.

එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත) [Quran; 103]


ඉහතින් දක්වා ඇත්තේ ශුද්ධ වූ අල්කුර්ආන් හි වාක්‍ය තුනකින් සමන්විත කෙටි සූරාව කි. මෙය ඉතා කෙටි සූරාවක් වුවද මිනිස් ජීවිතයට අවශ්‍ය කරන ඉතා වැදගත් කරුණක් අවධාරණය කරයි. මෙහි මූලික වශයෙන්ම කාලය මත දිවුරා තිබීමෙන් පැහැදිලි වන්නේ කාලයෙහි ඇත්තා වූ වැදගත්කමය. කාලය මත ජීවිතය සකස් කර ගැනීමෙන් ජීවිතයේ අරමුණු සියල්ල ආයාසයකින් තොරව ජයග්‍රාහීව ගමන් කිරීමට හැකියාව ලැබේ. මෙය ශුද්ධ වූ අල් කුරාන් හි මිනිසා වෙනුවෙන් කරනු ලබන්නාවූ ඉතා වැදගත් මග පෙන්වීමකි....

අප ජීවත්වන මෙම කාලවකවානුව තුළ ජීවත් වන මිනිසුන් කාලය මත ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උනන්දුවක් දක්වන්නේ දැයි සැක සහිතය. ජීවිතයේ සාර්ථකත්වය කුමක්ද යන්න නොසලකා දුවන්නන් වාලේ දුවමින් එකිනෙකා අතර තරගකාරී ස්වභාවයක් දක්වයි.

මිනිසුන් ලෙස ජීවත් වන්නා වූ අප දෛනික ජීවිතයේදී විවිධ ආකාර වූ දුක් වේදනා ප්‍රශ්න ගැටලු සමුදායකට මුහුණ දෙන්නේ මය. මෙම ප්‍රශ්න හමුවේ නොසැලී ජිවිතයට මුහුණදෙන්නේ කීයෙන් කී දෙනෙක් ද යන්න සිතා ගැනීමට අපහසු ය. මිනිසා ස්වභාවයෙන්ම වේදනාත්මක තත්ත්වයන් හට මුහුණ දෙන්නට කැමති නැත . හැමවිටම ප්‍රාර්ථනා කරන්නේ යහපත් ජීවිතයකි. ඉස්ලාම් ධර්මය ලොවට කියා දුන් අද්විතීය නායකයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ජීවිතයෙහි පැවැත්ම පිළිබඳව උපදෙස් දෙනු ලබන්නේ මිනිස් ජීවිතයේ ඉවසීම තිබිය යුත්තේ කෙනෙකු විපතට පත් වන පළමු අවස්ථාවේම බවයි.

මුස්ලිම්වරයෙකුගේ විශ්වාසය ගොඩ නැඟෙන්නේ ඉවසීම නමැති මූලධර්මය පදනම් කොටගෙනය. මක්නිසාද ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මිනිස් ජීවිතයේ හොඳ හා නරක සියල්ල සිදු වන්නේ මිනිසාගේ මැවුම්කාර වූ දෙවියන්ගේ කැමැත්ත මතය. මේ පිළිබඳව කිසිදු ප්‍රශ්න කිරීමක් මිනිසාට කළ නොහැකි නමුදු සර්වබලධාරී දෙවිඳාණන් කිසිවිටක කිසිම මිනිසෙකුට අසාධාරණයක් කරන්නේ නැත. මුස්ලිම්වරයකු ලෙස ජීවත් වන්නා වූ අයෙකු සිය ජීවිතයට පැමිණෙන සියලු බාධක හා අභියෝගයන්ට ඉවසීමෙන් යුක්තව මුහුණ දිය යුතුය.
අපගේ මුස්ලිම් සමාජය දෙස බලන විට වර්තමානයේ දී ඔවුන් කැමැති වන්නේ සුඛෝපභෝගී ජීවිත හා ප්‍රශ්න ගැටලුවලින් තොර ජීවිතයක ගමනාන්තයකි. යම් අවස්ථාවලදී උදාවන්නා වූ අවාසනාවන්ත සිදුවීම් දෙස ඔවුන් බලන්නේ එය වැරදි සහගත සිදුවීමක් ලෙස ය. එයට සාධාරණීකරණය කිරීම සඳහා නොයෙකුත් උදාහරණ සපයමින් සිදුවීම් ඔස්සේ ප්‍රශ්න කරමින් ගමන් කරයි. ප්‍රශ්නය සංකීර්ණ වෙයි. බොහෝ විට දෙවියන් වහන්සෙගේ නියමය අමතක කරමින් ක්‍රියා කිරීම නිසා ජීවිතයෙහි දොරටුව සාතන්ට විවෘත කර ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව කෙනෙකුට විපතක් පැමිණි විට "ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෛහි රාජිඌන්" යනුවෙන් පවසන ලෙස අල්-කුර්ආනය නියෝග කොට ඇතත් මෙය බොහෝ විට ප්‍රකාශ කරන්නේ කෙනෙක් මියගිය පසු ව ය. ඒත් විපතක් පැමිණි අවස්ථාවේදී මෙම දුආව කරමින් හා ඉවසීමෙන් යුතුව සලාතය ඉටු කරමින් අල්ලාහ්ගේ පිහිට පැතීම සිදු කළ යුතුය.
ඉස්ලාමීය ඉතිහාසයේ එන චරිත දෙස බලනවිට බොහෝ පරීක්ෂාවන්ට මුහුණදුන් නබිවරුන් අපට හමුවේ. ඉබ්‍රාහිම් නබිතුමා ගින්නෙන් පරීක්ෂාවට ලක්විය, යුසුෆ් නබිතුමා සහෝදරයන්ගෙ ද්වේෂයට ලක් වී පාළු ළිඳකට දමා පරික්ෂා කරන ලදී. අයූබ්(යොබ්) නබි තුමා දරුණු කුෂ්ඨ රෝගයකින් ගඩු හටගෙන තුවාලවල වේදනාවෙන් හා සියලු සම්පත් විනාශ වීමෙන් පරීක්ෂාවට ලක් කරන ලදී. යූනුස් නබි තුමා මාළුවෙකුගේ බඩ ඇතුළෙහි අන්ධකාරයෙහි පරීක්ෂණයට ලක් කරන ලදී. මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් කුසගින්නෙන්, යුද්ධමය ප්‍රශ්නවලින්, රෝග පීඩාවලින් පරීක්ෂාවට ලක්විය. මේ සියල්ලෙහි දී ඔවුහු ඉවසීමෙන් යුක්තව ක්‍රියා කිරීම නිසා දෙවිඳාණන් ගේ අරමුණ වූ සෘජු මග අවසන් කිරීමට හැකියාව ලැබිණි.
වර්තමාන සමාජයෙහි කිසිදු මුස්ලීම්වරයෙකු පරීක්ෂාවට මුහුණ දීමට කැමති නැත. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් සහ සිය අනුගාමිකයන් විසින් ඉස්ලාමීය ධර්මයේ උන්නතිය සඳහා අනුගමනය කළා වූ ක්‍රියා කලාපය හා කැපවීම මත ගොඩනැගුණු විවිධාකාර පරික්ෂාවන් ඉවසීමෙන් යුතුව දරාගත් නිසා ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත විය. අද එය දේශනාවක් පමණි. වර්තමානයෙහි මුස්ලිම්වරුන් පුද්ගලික ලෙස හා සමාජයක් ලෙස අතීතයෙහි මුහුණ දුන්නා වූ පරීක්ෂණ වලට වඩා වෙනස් ආකාර පරීක්ෂාවලට මුහුණ දෙනු ඇත. මුස්ලිම්වරුන්ගේ අධික ධනවත් භාවය හා සමාජය වර්ධනය වීමේ ප්‍රවණතාවයන් මත අන්‍ය සමාජයන් තුළින් මුස්ලිම් සමාජයට පැන නැගෙන ප්‍රශ්න ගණනාවක් ම දක්නට ලැබේ.
ඉස්ලාම් ධර්මය පිළිබඳව අවබෝධයක් නොමැති පිරිස් මුස්ලිම් සමාජයට නායකත්වය දෙමින් ශුද්ධවූ අල්කුර්ආනයට පවා වැරදි අර්ථ කථනයන් ගොනුකරමින් කරනු ලබන ඉගැන්වීම් නිසා ද මුස්ලිම් සමාජය පරීක්ෂාවට ලක් වේ. එමෙන්ම ඉස්ලාමීය ආගමික ඉගැන්වීම පරස්පර ලෙස හුවා දක්වමින් මුස්ලිම් සමාජය කණ්ඩායම් වශයෙන් බෙදී යාම ද එක්තරා පරීක්ෂාවකි.
තවත් ආකාරයකින් කිවහොත් ධර්මයෙහි මුවාවෙන් යම් යම් කණ්ඩායම් ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරනු ලබයි . මෙයද මුස්ලිම් සමාජය මුහුණ දෙන්නා වූ ගැටලුවකි. එමෙන්ම වර්තමානයෙහි මුස්ලිම් සමාජය තුළ නොයෙකුත් ගැටළු සහගත තත්වයන් විවිධාකාර ලෙස දැකිය හැකිය 
ඉහතින් දක්වන කරුණු දෙස මනාව බලා අධ්‍යයනය කොට මේ සියල්ල සමාජය තුළ සිදුවන විට අප ශක්තිමත් කරගත යුතු වන්නේ අල්ලාහ් කෙරෙහි තැබූ විශ්වාසයයි. විශ්වාසය ශක්තිමත් කර ගැනීමෙන් සියලු ප්‍රශ්නවලට මුහුණදීමට ධෛර්යය ගොඩනැගෙනු ඇත. පරීක්ෂාවන් සිදු වන විට මුස්ලිම්වරුන් ලෙස අප කළ යුතු වන්නේ සර්වබලධාරී දෙවිදානන්ගේ කරුණාව සහ දයාව බලාපොරොත්තු වෙමින් දුෂ්කර වූ පරීක්ෂාවන්ට මුහුණ දීම තුලින් ලැබෙන්නා වූ ආනිශංස අති මහත් බව විශ්වාස කිරීමයි. එමෙන්ම ශුද්ධ වූ අල් කුර්ආන්හි උගන්වන අල්ලාහ්ගේ වචනයට හා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ ක්‍රියාකලාපයට අනුව ජීවිතය සකස් කොටගෙන සැබෑ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුගත වීමයි.
මේ සියල්ලට අවශ්‍ය ඉවසීම හා සැබෑ ඉස්ලාමීය ඉගෙන්වීම තේරුම් ගැනීම තුළින් කාලය මත දිවුරා ප්‍රකාශ කර තිබෙන "අලාභය", ජීවිතයෙන් ජය ගැනීමට හැකිවේ.

(ibrahim sebastian. .. lecture comparative religion)